පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය එක්තරා පුද්ගලයකුගේ හෝ එක්තරා පවුල් පාර්ශ්වයකට රාජ්‍ය බලය සාක්ෂාත් කරගැනීමට සිදු කරවූ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි පවතිනවා යැයි ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ‘The DARK EASTER’ සඟරාව එළිදැක්වීම වෙනුවෙන් මරදානේ පිහිටි සමාජය හා සාමයීක කේන්ද්‍රයේදී පැවති උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද පැවසීය.
“එක්තරා පුද්ගලයකුගේ, එක්තරා පවුලක බල වියරුව සාක්ෂාත් කරගැනීමට මේ ප්‍රහාරය සිදු කරවන ලද්දක් කියන්න ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. 2015දී යහපාලන ආණ්ඩුව පැමිණි පසුව ඒ පැරදුණු පාර්ශ්වයට අවශ්‍ය වුණා බලය ගන්න හැම අවස්ථාවකම බිල්ලෙක් මවන්න. පහත් බිම් සංවර්ධන මණ්ඩලයෙන් රුපියල් කෝටි 5ක් අරගෙන අම්මාගේ තාත්තාගේ සොහොන් කොත් නිර්මාණය කළ නඩු ඔප්පුවේගෙන එනවිට ඒ අය දැන ගත්තා හිර කූඩුවට යන්න වෙනවා කියලා. ඒ නිසා රාජ්‍ය බලය නැවත වතාවක් අතට ගැනීමට තමයි 2019 ඔක්තෝබර් රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය කළේ. 2019 වසරේදී ඒ පැහැර ගත් රාජ්‍ය බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරාජය නොකළා නම් කිසි විටෙකත් පාස්කු දින ප්‍රහාරයක් සිදු වන්නේ නෑ.
මේ රාජ්‍ය බලය පැහැර ගත් වෙලාවේ අපි දැක්කා, ඒ අපරාධ විමර්ශන ආයතනවලට පුත්තු පැමිණ තමන්ගේ වික්‍රමය පානවා. මාව පැහැරගෙන ගිහිල්ලා පහරදීලා, මගේ කකුල් කඩලා දැන් අවුරුදු 14ක් වෙනවා. ඊට කලින් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ මගේ වෛද්‍ය වාර්තාවත් නෑ. මම ඒ ලේඛන සොයන්නේ කොහෙන් ද. මට හිතුණා තාජුඩීන්, ලසන්ත යන අයගෙත් එහෙම ද? අනෙකුත් ඝාතනවලත් එහෙම ද? තව ටික දවසකින් කියයි ද දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 270 දෙනාගේ මරණය බෝම්බ ප්‍රහාරයෙන් නොවෙයි ස්වාභාවික මරණ කියලා. වෛද්‍ය වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නෑ. ජංගම ඝාතනාගාරයක්, සුදු වෑන් එකක් තුළ පැමිණි මානසික බිය කොච්චර ශක්තිමත් පුද්ගලයෙක් වුණත්, මට තවම බැරි වුණා අවුරුදු 14ක් ගිහිල්ලත් මගේ මනසට එන ඒ මරණ බිය ඉවත් කර ගන්න.
මට දියණියක් ඉන්නවා. මම ඒ අයට කිව්වේ මට දරුවෙක් ඉන්නවා මාව මරන්න එපා කියලයි. කොටයක් උඩින් කකුල තබා තව කොටයකින් ගහනවා වගේ මෙග් කකුල වළලුකරෙන් වෙන්කර තිබෙන්නේ. දෙපැත්තට පතුරු තබා ඇණ 6ක් දාලා අද මම හිටගෙන ඉන්නේ. මට ආරක්ෂක අමාත්‍යාංශයට එන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් තර්ජනය කරන විට එතැන බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ල මහත්වරුත් හිටියා. ඒ දෙන්නා ඉදිරියේ සනත් බාලසූරියටත් මටත් තර්ජනය කළේ උද්ඝෝෂණ නැවැත්තුවේ නැතිනම් වෙන දේ බලා ගන්නම් කියලා. එවිට ඒ සාක්ෂි දෙකම දැන් නෑ. ඒ දෙන්නාම මියගිහින්. මේ නඩු තවදුරටත් ඇද ඇද ගියොත්, මේ විමර්ශන කෙරුණේ නැතිනම් සාක්ෂි නැති වෙනවා.”