Sunday, April 20, 2025
Home » ආගමික සහජීවනය ගොඩනැඟීමට සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක්

ආගමික සහජීවනය ගොඩනැඟීමට සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක්

by sachintha
December 2, 2024 1:41 am 0 comment

සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි

ආගමික සහජීවනය ගොඩනැඟීම සඳහා සාංචි මහා බෝධි මහෝත්සවය විශාල පිටිවහලක් වන බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියෝ ප්‍රකාශ කළහ.

72 වැනි සාංචි මහා බෝධි මහෝත්සවය පෙරේදා (30) සහ ඊයේ (01) අතිඋත්කර්ෂවත් අන්දමින් සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේදී ඉන්දීය සහ විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති අවස්ථාවට සහභාගිවෙමින් උන්වහන්සේ එසේ කීහ.

ලෝක උරුමයක් ලෙස සැලකෙන ඓතිහාසික සාංචි විහාරස්ථාන භූමිය අවට හා මඟ දෙපස කිලෝමීටර් දෙක හමාරක දුර සිට ෂඩ් වර්ණ බෞද්ධ කොඩිවලින් සරසා තිබේ.

ජපානය, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක බෞද්ධ ගිහි පැවිදි උවැසි උවැසියෝ විශාල පිරිසක් මේ අසිරිමත් සැරියුත් මුගලන් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට එක්ව සිටියහ.

ක්‍රි. පූ. 05 සියවසේ අශෝක අධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද වර්තමානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මේ දෙදින පැවැති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ සුභාශිංසන රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති කිරන් රිජිජු (Kiran Rijiju) මහතා සමඟ ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා ඇමැති ප්‍රහලා සිං පටෙල් මහතා සහභාගි වූහ.

තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද, වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද, ජපාන බෞද්ධයන් භික්ෂු භික්ෂුණියන් ද, ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

ශත වර්ෂ ගණනාවක් වනයට යටවී නටඹුන් වී තිබී 1918දී සොයා ගැනීමෙන් පසු 1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදි. ඉන්පසු 1912දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මේ නටඹුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.

එම කැණීම්වලින් පසු එංගලන්තයට රැගෙන ගොස් තිබූ මේ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කිරීමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝය.

ජයසිරි මුණසිංහ ඉන්දියාවේ සාංචි නුවර සිට…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT