Home » කෝටි 17ක් වැය කර වෙළෙඳ දැන්වීමක් සැකසුවත් එය විකාශනය කර නැහැ

කෝටි 17ක් වැය කර වෙළෙඳ දැන්වීමක් සැකසුවත් එය විකාශනය කර නැහැ

-විගණන වාර්තාවකින් අනාවරණ වූ බව ඇමැති සමන්ත විද්‍යාරත්න කියයි

by sachintha
December 2, 2024 2:38 am 0 comment

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයකින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළෙඳ දැන්වීමක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 1740ක් වැය කර එය කිසිම අවස්ථාවක විකාශනය කර නොමැති බවට විගණන වාර්තාවකින් අනාවරණයවී ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධාන කළ ඌව අභිමානී ප්‍රදර්ශනය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගියදා (29) සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

“මම අමාත්‍යාංශයේ වැඩ භාරගෙන ප්‍රථමයෙන්ම කළේ විගණන අංශයේ නිලධාරීන් ගෙන්වා සකච්ඡාවක් කළ එක. එහිදී දැන ගන්න ලැබුණේ අමාත්‍යාංශයේ එක අංශයකින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළෙඳ දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ 1740ක් වැය කර වසර දෙකක් පුරා එය කොතැනකවත් විකාශනය කර නොමැති බවයි. ඒ මුදල දැන්වීමට ගියාද එසේ නැත්නම් වෙන කොහාට හරි ගියා ද කියලා පළමුව සොයා බලන්න ඕනෙ. විනාඩි එක හමාරට වැය කළ මුදල ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයටවත් ලැබී නැතුව ඇති. අපට මේ රට සුද්ධ කරලම හදන්න වෙනවා. මේවා අනවශ්‍ය දේවල්. වසර 76ක් බිඳ වැටුණ රට එක දවසකින් අපට හදන්න බෑ. නමුත් කොහොම හරි අපි හදනවා.”

බදුල්ල සේනානායක පිටියේදී ‘ඌව අභිමානී’ ප්‍රදර්ශනය පැවැති අතර, එහි අත්යන්ත්‍ර, රෙදිපිළි, බතික් නිර්මාණ, ලී බඩු, ගෘහ භාණ්ඩ, මැටි හා විසිතුරු බඩු ප්‍රදර්ශන සහ අලෙවිය සිදු විය. එහිදී කර්මාන්තකරුවන් 128 දෙනකු අගයමින් රුපියල් ලක්ෂ 17ක මුදල් තෑගි, සම්මාන සහ සහතික පත්‍ර ප්‍ර‍දානයක් ද සිදු කෙරිණි.

ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් සංවිධාන කළ මේ ප්‍රදර්ශනය විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාර ජේ. එම්. කපිල ජයසේකර, සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහ මහත්වරු ඇතුළු පළාත් සභාවේ නිලධාරීහු සහභාගි වූහ.

ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT