පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සම්මත කරන බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“මේ වනවිට රටේ ආර්ථිකය පවතින තත්ත්වයත් සමඟ එකලස් කරමින් තිබෙන්නේ. අපනයන ආදායම ඉහළ යමින් පවතිනවා.සංචාරකයන්ගේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වෙලා තිබෙනවා. ආයෝජන විශාල ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. කොටස් වෙළෙඳපොළට විශාල ආයෝජන පැමිණෙමින් තිබෙනවා. ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ලෙස කරන ලද ආරාධනය පිළිගෙන ආයෝජකයන් විශාල ලෙස රටට පැමිණෙමින් සිටිනවා. මේ වනවිට ඇති වෙලා තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය සමනය වූ වහාම රටේ විශාල ආර්ථික ගමනකට අවශ්‍ය අඩිතාලම දාන්න ආණ්ඩුව සැලසුම් සකස් කර තිබෙනවා.
ආණ්ඩුවේ පළමු අය-වැය ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරනවා. ඊට පෙර අතුරු සම්මත ගිණුමක් තමයි ඉදිරිපත් කරන්නෙ. අය-වැය සමඟ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කළ පසුව ජනතාව බලාපොරොත්තු වූ ගමන යන්න හැම දෙනාටම එකතු වෙන්න පුළුවන් . පවතින සහල් හිඟය පසුගිය අවුරුදු දහයක කාලයක් දෙස ආපසු හැරී බලන විට මෙය සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. හැබැයි රටේ වී නිෂ්පාදනය අපේ පරිභෝජනයට වඩා වැඩියි. ඒ අනුව බලන විට වී නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවා. නමුත් වෙළෙඳපොළේ සහල්වල හිඟයක් පවතිනවා. අපි සොයා බැලුවා, ගබඩාවල වී තිබෙනවා. නමුත් සහල් එන්නේ නෑ. එයට හේතුව තමයි වී ගබඩාවලින් බැංකු ණය අරගෙන තිබෙනවා. ඒ නිසා කොටස් කර තමයි දැන් වෙළෙඳපොළට සහල් නිකුත් කරන්නේ. අපි ඒ පිළිබඳව මෝල් හිමියන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මෙයට කෙටිකාලීන විසඳුමක් ලෙස ආණ්ඩුව තීරණය කර තිබෙනවා, මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක සහල් ආනයනය කිරීමට. ආනයනය කිරීමට ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව ඉදිරි සති තුනක් ඇතුළත සහල් ආනයනය කර වෙළෙඳපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෝල් හිමියන් කැඳවා ඔවුන් ළඟ තිබෙන සහල් වෙළෙඳපොළට නිකුත් කරන්න කියන ඉල්ලීම කළා. මොකද බොහෝ අය අපගෙන් ඉල්ලීම් කරනවා, වැටලීම් සිදු කර සහල් වෙළෙඳපොළට ගෙනත් දෙන්න කියලා. අපි හිතනවා, ආණ්ඩුවක් ඒක කරන්න අවශ්‍ය නෑ.වෙළෙඳපොළක් තුළ ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරනවා වගේම ව්‍යාපාරිකයන්ටත් තියෙන්න ඕනේ ජනතාව සූරා නොකා ව්‍යාපාර කිරීමේ සංස්කෘතියක්. වෙළෙඳපොළ තුළ තිබෙන සහල් හිඟයෙන් ඔවුන් අතිරික්ත ලාභයක් ලැබීමට කටයුතු කර තිබෙනවා. එය වැරදියි. ඒ අනුව අපි ඉල්ලීමක් කර තිබෙනවා, සහල් පාලන මිලට දීමට කටයුතු කරන්න. එසේ නොවන්නේ නම් ඉදිරියට මෙහි ප්‍රතිඵලය හොඳ වෙන්නේ නෑ කියන කාරණය.
මේ වනවිට ලාෆ් ගෑස්වල හිඟයක් පවතිනවා. මේ හිඟය පිළිබඳව එම සමාගම විසින් පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලාෆ් ගෑස් සමාගම ඇති වෙලා තිබෙන තත්ත්වයට ගෑස් ගෙනැවිත් බෙදාහැරීමට අදාළ මැදිහත්වීම කරන්නේ නැතිනම් ආණ්ඩුවට එයට අදාළ තීරණයක් ගන්න වෙනවා.
හිටපු ඇමැතිවරුන් ඔවුන්ගේ නිල නිවාස භාරදී තිබෙනවා. අපි කවුරුත් ඒ නිල නිවාස භාරගෙන නෑ. නිවාස ඉල්ලන්නෙත් නෑ. ඒ නිවාස සම්බන්ධව ආණ්ඩුව විසින් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නවා . ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු සියලු දෙනා රජයේ නිල නිවාස පාවිච්චි කරන්නේ නෑ. ඇමැතිවරයා ලෙස මට තියෙනවා, v8 වාහන තුනක්. අපි ඒවා පාවිච්චි කරන්නේ නෑ. එම වාහන පිළිබඳව ආණ්ඩුව ඉදිරියේදී පියවරක් ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණය දීමට කටයුතු කරනවා. ඔවුන්ට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් දීම ආණ්ඩුවේ වගකීමක්. වැටුප් මන්ත්‍රීවරුන්ට හිමි දෙයක්. අපි නවත්තනවා කිව්වේ විශ්‍රාම වැටුප්. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත සම්මත කරනවා.”
අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක