Home » ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුව වනසයි චෙන්නායි ගුවන්තොටුපොළටත් බලපෑම්

ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුව වනසයි චෙන්නායි ගුවන්තොටුපොළටත් බලපෑම්

by sachintha
December 2, 2024 1:22 am 0 comment

උතුරු තමිල්නාඩුවට සහ පුදුචෙරි පළාතට ධාරානිපාත වර්ෂාපතනයක් ඇති කරමින් කඩා වැදුණු ෆෙන්ගල් සුළි කුණාටුව තමිල්නාඩුවේ ජන ජිවිතය මුළුමනින්ම උඩුයටිකුරු කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා රාත්‍රී පුදුචෙරි මුහුදු තීරයෙන් තමිල්නාඩුවට ඇතුළු වී ඇති සුළි කුණාටුව හේතුවෙන් උද්ගත වූ වර්ෂාව දැඩි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවත්, චෙන්නායි නුවර ගුවන් ගමන් සහ දුම්රිය සේවා අඩාළ කළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අගනුවර රෝහල් සහ නිවාස ද, මහමාර්ගය ද ජලයෙන් යටවී ඇති අතර, චෙන්නායි ගුවන් තොටුපොළ වසා දැමීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

ෆෙන්ගල් සුළි කුණාටුව හේතුවෙන් පුදුචෙරි පළාතට වසර 30කට පසු වැඩිම වර්ෂාපතනය ඇද වැටුණු බවත්, ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ සිය ගණනක ජනතාව ඉවත් කිරීමට ඉන්දීය හමුදාවෙන් සහාය ලැබී ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් උද්ගත වූ වර්ෂාවත් සමඟ මරණ දෙකක් ද වාර්තා වන අතර, තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ. අයහපත් කාලගුණ තත්ත්වය මැද ඉන්ඩිගෝ සමාගමට අයත් ගුවන් යානයක් ධාවන පථයට ගොඩ බැස්වීමට ආසන්නව තිබියදී දැඩි අසීරුතාවට පත්වීමෙන් නැවත ගුවන්ගත කිරීමේ සිදුවීමක් ද වාර්තා වන අතර, එම සිදුවීම දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලයේ ‘වයිරල්‘ වෙමින් පවතින බවද වාර්තා වේ. පසුගිය සෙනසුරාදා එම සිදුවීමත් සමඟ චෙන්නායි නුවර ඉන්ඩිගෝ ගුවන් ගමන් වාර ඊයේ උදෑසන වනතුරු අත්හිටුවීමට එම සමාගම පියවර ගත් බව ද වාර්තා වේ. ඊයේ පස්වරුව වනවිට ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපැම් පහව යෑමට නියමිත බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ උදෑසන නිවේදනය කළ බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT