නවකතාවක් පිළිබඳ බරපතළ ශාස්ත්‍රීය සංවාදවලට වඩා ඒ පිළිබඳ ආගිය තොරතුරු හෝ කටකතා හෝ අසා දැනගන්නට පාඨකයා වඩාත් කැමැතිය. එය අපගේ අත්දැකීම වෙයි. කතාවක් සැබෑනම්, එය පසුපස තවත් කතා ගණනාවක් තිබිය යුතු බව පාඨකයෝ දනිති. ඇතැම්විට රචකයා ගැන විය හැකිය. ඇතැම්විට අත්දැකීම ගැන විය හැකිය, ඇතැම්විට කතාවේ චරිතයක් ගැන විය හැකිය, ප්‍රේමවන්ත පිටස්තරයා ගැන එබඳු වග විස්තර මා දන්නේ නැත. එහෙත් එම කෘතිය ඔස්සේ කතා සිය ගණනකට අවශ්‍ය උත්තේජක සපයාගත හැකිය. එයත් මේ ප්‍රබන්ධයේ ප්‍රබලතාව මතුකරන සාධනීය තත්ත්වයක් සේ සැලකිය යුතුය.
මේ කෘතියේ මුල්කවරය සැරසී ඇත්තේ යෞවනයකුගේ ආකර්ෂණීය උඩුකය සහිත පින්තූරයකින් ය. නොඉඳුල් තරුණයකුගේ පිටකොන්ද , දෑත, බෙල්ල, කෙටි කොණ්ඩය හා ඔහුගේ රන්වන් පාටැති ඡවි වර්ණය නිල් පැහැති පසුබිමක චිත්‍රණය වී ඇත. ඔහු මුනින්තලාව සුවපහසු ඇඳක වැතිර සිටින අතර යෞවනයට උරුම ස්වභාවික ථීනමිද්ධය ඔහු කෙරෙන් පළවෙයි. නිල්පැහැති පොරෝණය, ඇඳ ඇතිරිලි, රතු පිටකවරයකින් යුතු පොත්ගෙඩිය හැඟීම් දනවන අපූරු එකමුතුවකි. මේ ලක්ෂණ ඔස්සේ බොහෝ දුරක් යා හැකි සිතුවිලි පහළ වන්නට පුළුවන.
නිදහස් ජීවිතයක්, සැප නින්දක්, කෙටිකාලීන ගැටලුවක්, උභතෝකෝටිකයක් ආදී ලෙසින් සිතුවිලි සංකීර්ණ කරගත හැකිය. කුමක්වුව මුල්කවරය විවිථාර්ථ සහිතව අප ඉදිරියෙහි නැඟී සිටී. එම පසුබිමෙහි සුදු පැහැති ලොකු අකුරින් කෘතියේ සිරස දක්වා තිබේ. “ප්‍රේමවන්ත පිටස්තරයා” මුල්කවරය හොඳින් ගළපාගෙන ඇත. එහි නූතනත්වය පවතී. විවෘතභාවය හා නිදහස පවතී. සිරසට යටින් කුඩා අකුරු පෙළකින් කතුවරයාගේ නම සඳහන් වේ. පොතක මුල් කවරයට සම්මාන ලබාදෙන ක්‍රමයක් වෙනත් රටවල පවතී. අපේ ආයතන එය හිතාමතාම අවලංගු කර ඇත. ඒ ගැන කිවහැක්කේ එපමණකි.
චන්දිම කාරියවසම් නම් මේ ලේඛකයා සිය ප්‍රස්තාවවනාවෙහිලා සටහන් කර ඇති අදහස් කිහිපයක් කෙරෙහි අපගේ ආකර්ෂණය යොමුවී ඇත. එම අදහස්වලින් පෙනී යන්නේ චන්දනගේ අවංක හා නිදහස්භාවය යැයි මට සිතේ. ඔහු ලිවීම සම්බන්ධයෙන් කාගෙන් හෝ ගුරුහරුකම් ලාබ ඇත. ඒ ගුරුවරයා ද අවංක මෙන්ම ගැඹුරු චින්තනයක් සහිත නිදහස් මිනිසකු විය යුතු යැයි සිතන්නට කරුණු තිබේ.
මම ලිවීම මෙතරම් බරපතළ බව නොදැන සිටියෙමි. අවංකව ලියන්න බැරිනම්, ලියන්නෙ නැතිව ඉඳපන්. යන ලිවීම පිළිබඳ පළමු හා බරපතළම පාඩම උගැන්මෙන් පසුව ලිවීම යනු අතිශය වගකීම්සහගත ක්‍රියාවලියක් බව මම තේරුම් ගතිමි.
චන්දිමට කදිම උපදේශන තොගයක් ලැබී ඇතැයි නිසැකවම කිවහැකිය. එහෙත් එම උපදේශනවලට අනුව ඔහු අභ්‍යාස කර ඇති බවක් පෙනෙන්නට නැත. චන්දිමගේ වාක්‍ය ගැළපීම් අවුල්ය. එලෙසම ඔහු අදහස් කරන දේවල් ශක්තිමත් ප්‍රකාශන බවට පත්වී නැති බවක් ද පෙනී යයි.
අමෙරිකන් ලේඛක අර්නස්ට් හෙමිංවේ කියන ලෙස ලොව ඇති දුෂ්කරම කාර්යය ලිවීමය. එහි රහස ඇත්තේ සංස්කරණය තුළය. ලියන්න නැවත ලියන්න, කපන්න! නැවත ලියන්න! නැවත කපන්න හෙමිංවේගේ උපදේශනය එය වෙයි. ලේඛනයේදී ඔහු තරම් නැවත ලිවීම සිදුකළ රචකයකු නැති තරම්ය. හෙමිංවේට නොබෙල් ත්‍යාගය ලැබීමට හේතුසාධක වූ මහල්ලා හා මුහුද කෙටි නවකතාව 200 වාරයක් සංස්කරණය කළ බව හෙමිංවේ වරක් සඳහන් කළේය. එහෙත් සංස්කරණය යනු කෘතියක් සාර්ථක කිරීමේ එකම ක්‍රියාමාර්ගය නොවන බව ද කිව යුතුය. නොබෙල් ත්‍යාග තවත් අමෙරිකන් රචකයකු වන “ජෝන් ස්ට්‍රින්බර්ක්” නැවත ලිවීම හෙවත් ප්‍රතිරචනය ගැන ඒ හැටි සලකන්නේ නැත. “රීරයිටින් ඉස් බෝරිං” යනු ඔහුගේ ප්‍රකට කියමනකි. ස්ට්‍රින්බර්ක් කියන ලෙස එකවර ලිවීම වඩා වැදගත්ය. ඔහු එය හඳුන්වන්නේ “ඔරිජිනල් රයිටින්” යනුවෙන්ය.
එකිනෙක ලේඛකයා විවිධ උපායමාර්ග භාවිත කරන බව පැහැදිලිය. එහෙත් අවසන් ලෙස තම රචනය විශ්වාසදායක, හෘදයාංගම ලියැවිල්ලක් බවට පත් කර ගැනීමේ සම්පූර්ණ අයිතිය හා වගකීම ඇත්තේ ලේඛකයාටමය. ඒ ගැන බරපතළ හැඟීමක් රචකයාට තිබිය යුතුය. එබඳු බරපතළ හැඟීමක් චන්දිම කාරියවසම්ට ඇතිබවක් පෙනී යයි.
”ලිවීම තරම් මනුෂ්‍යත්වය අවබෝධ කරගත හැකි සුන්දර මාවතක් මට තවම හමු වී නැත. ඒ නිසාම ලිවීම නම් දුෂ්කර ක්‍රියාවේ තව තවත් ගැලීම මාව මනුෂ්‍යත්වයට පත් කරන්නේය යන්න විශ්වාස කරමි.
(සටහනක්)
ලේඛක චන්දිම කාරියවසම් ඉතා වැදගත් කරුණු දෙකක් අප ඉදිරියෙහි තබයි.
I).මනුෂ්‍යත්වය උදෙසා ලිවීම
මතුකර දැක්වීම හා මානවීය ලියැවිල්ල සඳහා ලේඛකයා යොමු කිරීම
II). ලේඛනයේ බරපතළම හා නිදහස් ලේඛනය පිළිබඳ වගවීම නූතන ලේඛකයාට සිහිපත් කිරීම
ඉහත කරුණු දෙකම පාඨක සමාජයට වැදගත්ය. එලෙසම ලේඛක සමාජයට මෙන්ම පොදුවේ සමාජයට ද වැදගත්ය. ඒ පිළිබඳ සංවාදයක් මතුකිරීම හැමවිටම සිදුවිය යුතු යැයි අපට සිතේ. සෑම පොත් ලියන්නකුම තම වගකීම් පිළිබඳ අවබෝධයකින් පසුවිය යුතුය. සෑම පොතක්ම මානවීය ලියැවිල්ලක් විය යුතු යැයි ද අපට සිතේ. විශේෂයෙන් ප්‍රබන්ධ කතාව ඊට සම්බන්ධය. මේ දිනවල මානුෂීය මුහුණුවරට අදාළ ලේඛන ගැන කියැවෙන සිදුවීම් කිහිපයක් කෙරෙහි විචාරක අවධානය යොමු කර තිබේ.
1) පලස්තීනයේ සිදුවන මානුෂීය ඛේදවාචකය පිළිබඳ ලේඛන
II) සුඩානය ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක පැතිර යන සාගතය හා අවතැන්වීම පිළිබඳ ලේඛන සංවාදය
III) ලේඛක සංක්‍රමණිකයන්ගේ ගැටලුව හා අමෙරිකාව ඒ සම්බන්ධයෙන් ගෙනයන ප්‍රතිපත්තියට එරෙහි වීම
ඉහත සංසිද්ධි තුනම මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුව විශේෂ අවධානයකට යොමු කර ඇත. ඉහත විෂය ක්ෂේත්‍ර අලළා ප්‍රබන්ධ කතා, රචනයට ප්‍රවේශ වූ ලේඛකයෝ ගණනාවක් එම ‘ප්‍රබන්ධ ඔස්සේ ලොව ඉහළම සාහිත්‍ය සම්මාන ලබාගෙන සිටිති. ප්‍රබන්ධකතාව යනු ජීවිතය පිළිබඳ විවරණයක් යැයි සමහරු කියති. මනුෂ්‍යත්වය විශ්ලේෂණය කිරීම නවකතාවේ අරමුණු යැයි තව සමහරු කියති. නවකතාවෙන් සිදුවන්නේ ජීවිතය යළි පිටපත් කිරීම බව ද තවත් සමහරු කියති. කුමක් වුව ජීවිත විවරණයකින් තොර ප්‍රබන්ධ කතාවක් නැත්තේය.
Why we are writing for fiction ? යන ගැටලුවට බටහිර විචාරකයන් විවිධාකාරවූ පිළිතුරු සපයා ඇත. ඒ සෑම පිළිතුරකටම පොදු සාධකය වූ එකම එක තීරණයක් තිබේ. එනම්, ජීවිතයට අලුත් ගැම්මක් ලබාදීමය. ජීවිතය කෙටියි. එය කුමන තැනකින් පටන්ගෙන, කවර තැනකින් කුමන ලෙසකින් අවසන් වන්නේදැයි කිසිවකුටත් කිව නොහැකිය. වඩාත් වැදගත් වන්නේ ජීවිතය කියවාගැනීම සඳහා විද්‍යාත්මකව උත්තේජනයක් ලබාදීමය. මේ උත්තේජනය රචකයාට පමණක් නොව පාඨකයාට ද එක සේ වැදගත්ය. ජීවිත විවරණය හා නවකතා කියවීම යන්න කිසිවිටෙකත් අමතක කළ නොහැකි කාරණයකි. දැනට ඒ මත රැඳීමට අපට සිදුවනු ඇත.
මාක්ස්වාදීන්ගේ පරමාදර්ශී රචකයකු හැටියට සැලකෙන “නාම්තාඕ” වරක් පෙන්වා දුන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු නිරූපණ සහිත එක ඡේදයක් කියවන්නට ලැබීම අධිපෝෂිත ආහාර වේලකට වඩා තමන්ට වැදගත් බවය. ඔහු එබඳු ඡේද උපුටා දක්වමින් ආධුනිකයාට සාහිත්‍යය උගන්වා ඇත. චන්දිම කාරියවසම් ප්‍රවීණ රචකයකු නොවන බව සැබෑය. එහෙත් ඔහු සිය ප්‍රථම ප්‍රබන්ධයෙන්ම සාහිත්‍ය ලෝකයට කරුණු කියා දෙන්නට පටන්ගෙන තිබේ. එහි ඇති කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් පහත සඳහන් ලෙස පෙළගැස්විය හැකිය.
I) නූතන පාඨකයාට වඩාත් හොඳින් ගළපාගත හැක්කේ කෙටිකතා ශානරය බව සනාථ කිරීම.
II) පාඨකයාගේ චින්තනය, පරිකල්පනය හා කතා ගෙතීමේ හැකියාව තම ප්‍රබන්ධය හා එකට ගැළපීම හෙවත් සූත්‍රගත කිරීමේ උපායමාර්ගය වඩාත් සාර්ථක බව සනාථ කිරීම.
III) වැදගත් වන්නේ කතාව කියවන පාඨකයාට ඔහුගේ ප්‍රබන්ධය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සංවේදී අවස්ථා නිරූපණය කිරීම.
IV) භාෂාව, ශෛලිය හා රිද්මය හොඳින් ගළපා ගනිමින් ද සානුකම්පිත හදවත් නැවත ශක්තිමත් කරමින් ද, සංවේදී කරමින් ද කතාවක් ගැළපීමට සාර්ථක උත්සාහයක යෙදීම.
“ප්‍රේමවන්ත පිටස්තරයා” කෙටි නවකතාව ආරම්භ වන්නේ අපූරු සංවේදී අවස්ථාවකින්ය.
“මම ඇවිදිමින් හිඳිමි. මගේ ඇවිදීම ඇවිද්දවීමටත් වඩා ඒ මේ අත විසිවීමක් ලෙස සැලකිය හැකිය. බීර මතින් පෙඟී ඇති සිරුර මනසට පාලනය කරගත නොහැකිය. සියලු ස්නායු සන්නිවේදනයන් ඇනහිට ඇති ශරීරය සේම සිත ද ඔහේ විසිවෙමින් තැන තැන හැපෙමින්, පැටලෙමින් පාරදිගේ ඉදිරියට ඇදෙයි.” (පිටු 211)
බීර නැතිව මේ ඡේදය ඔස්සේ ඇවිද යන්න! ඔබට ජීවිතය හා නවකතාව හසු වනු ඇත.
රන්ජන් අමරරත්න