Wednesday, April 23, 2025
Home » මේක ගැමි පරිසරයේ යම් නිශ්චිත වකවානුවක සිදුවුණු කතාවක්

මේක ගැමි පරිසරයේ යම් නිශ්චිත වකවානුවක සිදුවුණු කතාවක්

-ලේඛක ප්‍රියලාල් සිරිසේන

by sachintha
December 2, 2024 1:51 am 0 comment

ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. එසේම නිදහස් පුවත්පත් කලාවේදියකු වශයෙන් ද කටයුතු කර ඇත. අන්තර්ජාල වෙබ් අඩවිවල ද ඔහුගේ ලේඛන රටා සැරිසරන්නේය. තව ද සිය වෘත්තීය විෂයය වන නීතිය පිළිබඳ ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇති මොහු ලේඛක ප්‍රියලාල් සිරිසේනය. මේ වන විට කැනඩාවේ වෙසෙන “දෙයියන්ගේ ඇතා” ලියූ ප්‍රියලාල් සිරිසේන සමඟ කළ සාකච්ඡා සටහන මෙසේ දක්වමු.

ඔබ ලේඛකයකු (ග්‍රන්ථ කතුවරයකු) වශයෙන් දොරට වැඩීම සිදුවන්නේ කොහොමද ?

මේක මගේ පළමුවන ප්‍රබන්ධ කතාව. නමුත් මීට කලින් මම නීතිය සම්බන්ධ පොත්පත් කිහිපයක් පළ කරලා තියෙනවා. ඊට අමතරව මම ජනමාධ්‍යවේදියකු විදිහට කටයුතු කළ අවධියේ ඉඳන්ම ලිවීමට ආසාවක් තිබුණා. ඉතින් මේ ප්‍රබන්ධ කතාව වසර කිහිපයක ඉඳන් ලියමින් සිටි කතාවක්. ඒ වගේම මේකට පසුබිම් වුණු කාලවකවානුව සම්බන්ධයෙන් තොරතුරු සොයාගන්නටත් යම් කාලයක් ගත වුණා.

‘දෙයියන්ගේ ඇතා’ ලියන්නේ ඇයි ? කාට ද ?

පොතක් ලිවීම සහ පළ කිරීම අද කාලයේ තාක්ෂණයත් එක්ක ඒ තරම් අමාරු නැහැ. නමුත් පොත් කියවන පිරිස යම් තරමක අඩු වීමක් තියෙනවා කියල මම හිතනවා. ඒකටත් හේතුව තාක්ෂණයම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජංගම දුරකතන, සමාජ මාධ්‍ය සහ වීඩියෝ තාක්ෂණයත් එක්ක තරුණ පරම්පරාව කොයි තරම් දුරට පොත් කියවනවා ද කියන එක ගැටලුවක්. බොහෝ පොත්පත් පළමු මුද්‍රණයේ පිටපත් දාහකට සීමා වෙනවා. එතැනින් එහාට යන්නේ නැහැ. මේ පොත ලිවීමේ දී මම කල්පනා කළේ ඔය ගැටලුව ජයගන්නේ කොහොමද කියලයි. සමහරවිට මම සාර්ථක නැතිව ඇති. නමුත් මේ කටයුත්තේ දී මට සහාය වුණේ ඇන්ටන් බී. පෙරේරා කියන ප්‍රවීණ චිත්‍රකතා ශිල්පියා. එතුමා මේ කතාවට අදාළව සිතුවම් ගණනාවක් ඇන්දා. ඒවා මේ පොතට ඇතුළත් වෙලා තියෙන්නේ. යම් ආකාරයක ග්‍රැෆික් මිශ්‍රණයක් සහිත නවකතාවක් ඉදිරිපත් කිරීමක් ලෙසයි. මේක එක්තරා විදිහක අත්හදා බැලීමක් කියලා කියන්න පුළුවන්. ඉතිහාස පසුබිමක් තිබුණත් මේක ෆික්ෂන් එකක්. ප්‍රබන්ධයක් කියන පදනමින් තමයි මම පොතේ මුලින්ම සඳහන් කළේ මේක ඓතිහාසික නවකතාවක් නොවේ ය කියලා. ඉතින් අපි බලමු මේක කොයි විදිහට පාඨකයා භාර ගනීවි ද කියලා.

මෙහි කතා සාරාංශය දිව යන්නේ කෙසේද ?

මේ පොතේ කතාව සරලව ගත්තොත් 19 වැනි සියවසේ සිදුවන සිදුවීමක් විදිහට තමයි ලියවිලා තියෙන්නේ. හරියටම කිව්වොත් ඉංග්‍රීසින් උඩරට අල්ලා ගන්නට මාස කිහිපයකට පෙර, දෙලොවක් අතර දෝලනය වුණු වකවානුවක්. එක් පැත්තකින් සිංහල රදලයන් උඩරට රජුට එරෙහිව කුමන්ත්‍රණය කරමින් හිටියා. අනිත් අතින් ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන්නට කල්බලමින් සිටියා. පිරිසක් ඉංග්‍රීසින්ගෙන් රට – ජාතිය ආරක්ෂා කරගැනීමේ සටන්පාඨය ඉදිරියට දැම්මා. අනිත් පිරිස වඩුග රාජ පරම්පරාව පලවා හරිමින් රට – ජාතිය ආරක්ෂා කරගැනීමේ සටන් පාඨය ඉදිරියට දැම්මා. මේ සටන්පාඨවලට යටින් පැවති සාමාන්‍ය මිනිසාගේ ඉරණම ගැන තමයි මගේ අවධානය යොමු වුණේ. මේක කොයිතරම්දුරට විග්‍රහ කරන්නට මට පුළුවන් වුණා ද කියන එක පාඨකයාට බාරයි. කතාව දිවයන්නේ මේ වකවානුවේ සබරගමුව පළාතේ ගැවසුණු ඇතෙක් පසුබිම් කරගෙනයි. ඇත්තටම මට කියන්නට වුවමනා වුණේ ඇතා පිළිබඳ කතාව නොවෙයි. අර කලින් කිව්ව ගැමි පරිසරයේ යම් නිශ්චිත වකවානුවක සිදුවුණු කතාවයි.

‘දෙයියන්ගේ ඇතා’ ලියන්නට කුමන පර්යේෂණයක නිරත වුණා ද ?

මේක ඓතිහාසික කතාවක් නොවෙයි. මේක ප්‍රබන්ධයක්. නමුත් ඊට අදාළ පසුබිම් විස්තර සොයාගන්නට විවිධ පොත්පත් පරිශීලනය කරන්නට සිදු වුණා. විශේෂයෙන්ම 1814 වර්ෂයට අදාළව සිදුවෙමින් පැවති දේශපාලන පෙරළිය, ඒ වගේම ඒ වකවානුවේ පැවති සමාජ පරිසරය ගැන යම් යම් සොයාබැලීම් කරන්නට සිදුවුණා. සමහර තොරතුරු ඉතාම විරලයි. මේ වකවානුවට අදාළව ජෝන් ඩොයිලිගේ දිනපොත මම විශේෂයෙන් භාවිතා කළා. ඩොයිලි මේ කතාවේ චරිතයක් විදිහටත් ඉන්නවා. ඊට අමතරව මේ වකවානුවට අදාලව තෙන්නකෝන් විමලානන්ද විසින් ලියා ඇති පොත්පත් කියවන්නට පෙළඹුණා. නමුත් මම නැවතත් කියන්නේ මේ තුළින් ඉතිහාස කතාවක් සොයන්නට යන්න එපා කියලයි.

එදා ජන සමාජයේ පැවති රදල පන්තියත්, ඔවුන්ට බැල මෙහෙවරකම් කළ නිර්ධන පන්තියත් මෙහි කතා කෙරෙනවා. ඔබ ටිකිරා, සංගි, ටික්කා, හින්නි හාමිගෙන් කියන සමාජ යථාර්ථය ආකර්ෂණීයයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

මම කලිනුත් කිව්වා වගේ, ඔය කාලයෙත් දේශපාලනය සිදුවුණේ අර කියපු රට-ජාතිය බේරාගැනීමේ තේමාව ඉස්සරහට දමාගෙනයි. සාමාන්‍ය මිනිස්සු මැරි මැරී වැඩ කළේ අර කියපු රදල පන්තියේ බලඅරගලයට තමන්ගේ ශ්‍රමය කැප කරමින්. ඔවුන්ට බැලමෙහෙවර කිරීම පවා ආඩම්බරයක් විදියට සලකන සාමාන්‍ය වැසියන් තමයි ගම්වල හිටියේ. මේක අදටත් යම්තාක් දුරකට එහෙමම දකින්න තියෙනවා. රදලයකු ලවා තමන්ට කසෙන් තළවා ගන්නට ආසා කරන රටවැසියෝ තමයි තාමත් ඉන්නෙ. ඒ වගේම තමන්ට කසෙන් තළන පීඩකයාම දේවත්වයෙන් පුදන සමාජයක්. ඔය චරිත තුළින් මට ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුණේ ඒ අයගේ කතා පුවතක්. දැන් ගොඩක් ඓතිහාසික කතා පසුගිය කාලයේ විවිධ මාධ්‍යවලින් දකින්නට ලැබුණා. මේවායේ පොදු ලක්ෂණය තමයි අර රජවරු සහ රදල පරම්පරාව අලංකාර සහ දිව්‍යමය විදිහට ඉදිරිපත් කරන එක. මේවා කොහොමත්ම සාමාන්‍ය මිනිහාගේ පැත්තෙන් සිදු කළ ඉදිරිපත් කිරීම් නෙමෙයි කියන එක තමයි මගෙ අදහස. මට ඕන වුණේ යට පැත්තේ ඉඳන් මේ සිද්ධිය දිහා බලන්නටයි. ඒ කියන්නේ සාමාන්‍ය දුක්ඛිත ගැමියාගේ පැත්තේ ඉඳන් අර බලඅරගලය දිහා බලන්නටයි. හැබැයි මෙතැනදී මම කිසිසේත්ම මේ ගැමියා නිර් දෝෂියි කියලා කියන්නේ නැහැ. ඔවුන්ම තමයි අර පීඩක පරම්පරාව දේවත්වයෙන් අදහන්නේ. උදාහරණයක් විදිහට අර බාල බෙහෙත් සහ ඇල්වතුර ඉන්ජෙක්ෂන් අපට දීපු දේශපාලනඥයාට යන යන තැන්වල තාමත් වඳින පිරිසක් ඉන්නවා. මේ අය වෙනුවෙන් මරාගෙන මැරෙන්න කැමැති පිරිසකුත් තව ඉන්නවා. තමන්ගේ බත්පතේ ඉඳන් හැමදේටම ගහපු බදු මුදල් හොරාකන පිරිසට වන්දනා කරන පිරිසකුත් ඉන්නවා. ඔය ඔක්කොටම ආවරණය සපයන්නේ අර මම මුලින් කියපු රට – ජාතිය බේරාගැනීමේ ආදර්ශ පාඨය තමයි. නමුත් හැම කාලයකම වගේ ඔය රටාවට පිටින් ගිය පිරිසකුත් හිටියා. ඒ පිරිස සාමාන්‍යයෙන් සමාජ ද්‍රෝහීන් විදිහට තමයි ලේබල් වෙන්නෙ. ඔය දෙපිරිසම මේ කතාවේ ඉන්නවා.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT