Home » අනාථ හවුලක සනාතන දහම හා අමු කැලෑ ගිනි තැබීමේ දේශපාලනය

අනාථ හවුලක සනාතන දහම හා අමු කැලෑ ගිනි තැබීමේ දේශපාලනය

by sachintha
December 2, 2024 3:42 am 0 comment

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකය. එහෙත් පොලීසිය විසින් තවමත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ක්‍රියා කරන්නේද, යන්න අධිකරණයට කරුණු දක්වා නැත.

දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි ජනප්‍රිය කියමනක් පවතී. ජාතික ජන බලවේගය ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට පෙර, නිදහසින් පසු ගෙවී ගිය වසර හැත්තෑ ගණනක කාලය තුළ පැවති තට්ටු මාරු ක්‍රමය තුළ එය යථාර්ථයක් වී තිබිණි. එහෙත් ජාතික ජන බලවේගය විසින් මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස බලය තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන බල කඳවුරු දෙකක් මත පමණක්, එකී දෙපාර්ශ්වයේම උනුන් හුවමාරු කරගනිමින් පැවති ක්‍රමයක් නිමාවට පත්විය. එහෙත් ඒ මඟින්ම බිහි කළ කතිකාමය ප්‍රවණාතාවක් තිබේ. එය නම් අවම කොන්දේසි යටතේ ආණ්ඩුවට එරෙහිව පෙර කී කඳවුරු දෙකම එකට එකතු වීමය. ආණ්ඩුව පොදු සතුරා ලෙස දැකීමය. එහෙත් මෙම හවුලට තම ඊනියා පොදු සතුරාට එරෙහිව ශක්තිමත් චෝදනාවක් හෝ ගොනු කර ගැනීමට හැකියාවක් නැති තරම්ය. ඒ නිසාම ඔවුන් එකිනෙකට පරස්පර එදා වේල ටුවර්ස් සිල්ලර චෝදනා විසිකරමින් සිටියි.

මූලාරම්භයේදී ම කියා සිටියේ මාලිමාව ජයග්‍රහණය කරනු ලැබුවහොත් යළි තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවනු ඇති බවය. රටම ලේ විලක් බවට පත්වනු ඇති බවය. එහෙත් එවැන්නක් නොවී රටේ තත්ත්වය සාමාන්‍ය පරිදි ඉදිරියට ගලා යන විට චෝදනා මුඛයෙන් කියන්නේ වෙනසක් නැති බවය. තිබුණු රටම බවය. එදා කියා සිටියේ මාලිමාව බලය ගනු ලැබුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොලැබෙන බවය. ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ආර්ථිකයේ ධනාත්මක ගමන්මඟට බාධා පැමිණෙන බවය. එහෙත් දැන් චෝදනාවක් ලෙස නඟන්නේ රනිල් වික්‍රමසිංහ ගිය පාරේම ගමන් කරන බවටය. අයි.එම්.එෆ්. සමඟ පැවති එකඟතා ඉදිරියට ගමන් කිරීම ගැනය. එදා සිහිපත් කර සිටියේ පෙර ආණ්ඩු කළ පරිදි එක රැයින් කාබනික ගොවිතැන යථාර්ථයක් කරන්නට ගිය පරිදි හදිසි තීරණ නොගත යුතු බවය. සාමූහික සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවන්ට පැමිණීම වඩා ප්‍රජාතන්ත්‍රීය බවය. මෙදා නොකියා කියන්නේ ක්‍රියාමාර්ග ගැනීමට කල්අදින බවය. සාකච්ඡා ඇති නමුත් ක්‍රියාමාර්ග පමා වන බවය. එදා කියන්නේ පෙට්‍රල් හෝ ඩීසල් නැතිව වාහන මඟ නවතින දිනය අත ළඟ බවය. බංග්ලාදේශයේ මෙන් අරාජිකත්වයකට රට ගමන් කරනු ඇති බවය. මෙදා කියන්නේ ඉන්ධන මිල සහනය ප්‍රමාණවත් නොවන බවය. බංග්ලාදේශයේ තොරතුරු යාවත්කාලීන නොවන තරම්ය. වෙනස නම් තමන් කියන්නේ මොනවාද, ඒවායේ පරස්පරයන් කොපමණද යන්න පවා මෙම ඊනියා හවුල නොදැනීමය. සැබවින්ම මොවුන් තම දේශපාලන අනාථභාවය වෙනුවෙන්ම ගිලෙන නැවකින් තවත් එවැනිම ගිලෙන ඔරුවකට පැනගත්, මරි මෝඩ මී රංචුවකි.

මාලිමා රජයක් යටතේ ජාතික ආරක්ෂාව අර්බුදයට යාමද, මෙම අනාථ හවුලේ එක් ප්‍රාර්ථනයකි. ආරුගම්බේ සංචාරක ප්‍රදේශයට අදාළව අමෙරිකානු එක්සත් ජනපද නිවේදනය පදනම් කරගනිමින් ව්‍යාජ බිල්ලන් මැවීම ඔවුන්ගේ දහම විය. එහෙත් තොරතුර සැල වූ වහාම මාධ්‍ය සංදර්ශන තැබීම වෙනුවට ක්ෂණිකව නිසි ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ පිළිවෙත විය. එබැවින් අනාථනාථයින්ගේ දේශපාලන උපක්‍රම වතුරේ ගියේය. සුපුරුදු ‘කොටි නැඟිටින සූත්‍රය’ ක්‍රියාවේ යොදවන්නට මැතිවරණ සමයේම මොවුන් උත්සාහ දැරුවද, ඒ සඳහා කිසිදු කොන්දේසියක් සොයා ගැනීමට නොහැකිවීමෙන් එයද, හබක් විය. අවසානයේ නොවැම්බරයේ යෙදෙන පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී මහවිරු දින සැමරුම් දඩමීමා කර ගැනීමට ඔවුන් යුහුසුලු විය. ඒ සඳහා සකර්බර්ග්ගේ සමාජජාලා වෙබ් අඩවිය මනා තල්ලුවක් දුන්නේ පැරණි පෝස්ටු අදාළ දිනවලදී යළි සිහිපත් කරදෙන බැවිනි. දියේ ගිලෙන්නට යන එකා පිදුරු ගසෙත් එල්ලෙන බවට පවත්නා ගැමි කියමන සිහිපත් කරමින් ගිලෙන ඔරුවක දියඹක් සොය සොයා ඔහේ පාවෙන අනාථ හවුලට අදාළ පෝස්ට් කෙතරම් පැරණිද යන්න අදාළ නොවුණි. ඒවා ඔස්ට්‍රේලියාවේද, කැනඩාවේද, එසේත් නැතිනම් කෘත්‍රීම බුද්ධිමය (AI) දායකත්වයෙන් නිර්මාණය කළ ඒවාද, යන්න වැදගත් නොවීය. ඉකුත් මහමැතිවරණයෙන් මඩකළපුව හැර උතුරු නැඟෙනහිර සියලු ප්‍රදේශවල ජනයා මාලිමාව කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කිරීම අනාථ හවුලේ ඇස්වල කටු අනින තරමේ සංසිද්ධියක් වීමත්, ඒ නිසාම පහසුවෙන් යම් රහස් එකඟතාවක් පිළිබඳ මතයක් නිර්මාණය කිරීමට තරම් අවකාශයක් විවෘත වීමත්, පමණක් ඔවුන්ට වැදගත් විය.

විනෝදයට බොරු කීම එකකි. රට ගිනි තබා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් බොරු කිරීම තවත් එකකි. කටකතා තලුමැරීම එකකි. අමු කැලෑ ගිනි තැබීම තවත් එකකි. ප්‍රතිවාදී අදහස් දරන දේශපාලන ක්‍රියාධරයින්, ලේඛකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්දනය කිරීම අරමුණු කරගනිමින් තමන්ගේ ආණ්ඩු කාලයේ ක්‍රියාවට නැංවුණු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR)ට අදාළ පනත මේ වන විට අනාථ හවුලට බූමරංගයක් වී තිබීම දෛවයේ සරදමකි. එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකය. එහෙත් පොලීසිය විසින් තවමත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ක්‍රියා කරන්නේද, යන්න අධිකරණයට කරුණු දක්වා නැත.

ඒ වෙනුවට මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මඟින් ප්‍රචාරය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු කර තිබේ. එබැවින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම හෝ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අනුමාන කිරීම අසීරුය. එහෙත් එකක් කිව හැකිය. අතීත අත්දැකීම්වලට වෙනස්ව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවය.

මෙම සංසිද්ධියට අදාළවද, දේශපාලන අනාථ හවුලේ පරස්පර විරෝධී හා දෙබිඩි පිළිවෙත ඉදිරියට පැමිණ තිබේ. මාලිමා රජයක් යටතේ සමාජය නොසන්සුන් කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙතැයි බිල්ලන් මැවූ අයම ‘කොටි නැඟිටින’ බවට ව්‍යාජ පුවත් මවා සාමකාමී පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබේ. ඇති විය හැකි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නීතිය හා සාමය ආරක්ෂා කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා විට එයට එරෙහිව දුක කියන්නට පටන්ගෙන තිබේ.

එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයකැයි මැසිවිලි නඟනු පෙනේ. ‘මොකුත් වෙන්නෙ නෑ’, ‘දැනෙන වෙනසක් නෑ‘ කියූ අයට ඇඟට දැනෙන්නට පටන්ගෙන තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සමස්ත මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් කළ වෛරී ප්‍රකාශ, සමාජ මාධ්‍ය පෝස්ට් තුළින් ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීමත්, එම මතය සමාජගත කිරීමත් නැවතුණේ කිහිපදෙනෙකුට ජීවිත හානි සිදුවීමෙන් හා බොහෝ පිරිසකගේ දේපළ ගිනිබත් කිරීමෙනි.

දශක ගණනාවකටවත් යළි නොපෑහෙන සේ වාර්ගිකව ජනයා බෙදා වෙන් කිරීමෙනි. යළි එවැනි වාතාවරණයක් ඇතිවීමට ජීවිත බිලි දී පටු දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට කිසිවෙකුට හෝ ඉඩදිය යුතු නොවේ. එවැනි සාහසික ක්‍රියාවන් සඳහා කෙනකු යොමුවන්නේ නිසැකවම ඔවුන් අයත් වන්නේ අපරාධකරුවන්ගේ ගණයටමය. අපරාධකරුවන් සියලුදෙනාම මිනිසුන්ය. ඒ නිසාම ඔවුන්ට මිනිසුන් ලෙස සැලකිය යුතුය. එහෙත් මිනිසුන් සියලුදෙනාම ‘අපරාධකරුවන්‘ නොවන නිසා බහුතරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට වගකිව යුතු රජයකට හැකිවිය යුතුය. ‘අපරාධකරුවන් අල්ලන විට කෙඳිරි ගාන්නට එපා‘ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරද්දී, සමාජ මාධ්‍ය තුළ විරුද්ධවාදීන් ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘කෙඳිරි ගාන්නෙ නැතිව අල්ලන්න’ කියාය. එහෙත් දැන් සිදුවෙන්නේ අල්ලන විට කෙඳිරිගෑම නොව හඬා වැලපීමය. මේ රටේ වාර්ගික අනකෙකු නිර්මාණයවීම ‘එක්සත් රටක්’ ලෙස ඉදිරියට යාමට පවත්නා ප්‍රමුඛතම බාධාවක් බව අමුතුවෙන් කිව යුතුද, නොවේ. ඒ නිසාම එබඳු උත්සාහයන් මුලිනුපුටා දැමිය යුතුමය. නැතිනම් නිය පොත්තෙන් කැඩිය හැකි දලු අතු සහිත පැළෑටි අවසානයේදී පොරවෙන්ද, කැපිය නොහැකි තරමට රූස්ස ගස් වනු නොඅනුමානය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා මෙසේ පවසා තිබුණි.

“නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන නීති තුළින් පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව තුළ විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා සහ දීර්ඝ විවාද තුළින් ඉතාමත් ප්‍රගතිශීලි ශක්තිමත් නීති අප සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්පාදනය කිරීම ප්‍රමාණවත් නැහැ. එම නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන හැඟීම ඇති විය යුතුව තිබෙනවා.

ඒ නිසා ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් අප මේ නීතියට යටත්. කිසිදු දේශපාලනඥයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ. හැමදෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳ ජනතාවගේ බිඳ වැටුණු විශ්වාසය නැවතත් තහවුරු කළ යුතුයි. මෙහිදි කිසිවෙකුගෙන් පළි ගැනීමේ, කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමේ වුවමනාවක් අපට නැහැ. හැම දෙනාටම නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය අප තහවුරු කරනවා.”

ජනාධිපතිවරයා එසේ කීවද, දේශපාලන අනාථ හවුල නොකියා කියන්නේ ඒ නීතියට තමන් ඇතුළත් නොවන බවය. ඒ නිසාම තම තමන්ට රිසි ඕනෑම දෙයක් කළ හැකි බවය. ‘මගේ කට වචනය චක්‍රලේඛ ලෙස සලකන්න. වෙන නීති මොකටදැයි‘ රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසූ ජනාධිපතිවරයෙකුද,අපට සිටියේය. මේ අනාථ හවුලේ පරමාදර්ශය ඔහුය. එහෙත් දැන් එකී පරණ ලෝකය මියැදී අවසන්ය. ජනතාව විසින් අනුමැතිය දී ඇත්තේ එම ක්‍රමයටම තිත තබන්නටය. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගන්නාවිට ඉතිරි වී ඇති පැරණි නෂ්ටාවශේෂයන්ට රිදුම් ඇතිවීම ස්වභාවිකය. එවැනි රිදුම් ජීවිතයට ගෙන දෙන පාඩම් සුළුපටු නැත. එහෙත් එම පාඩම් ජීවිතවලට ආදේශ කිරීමට වඩා රටටම ආදේශ කර බැලීම වඩා සුදුසුය. මන්ද යත් පුද්ගලික රිදුම් රටක ජාතික අභිලාෂයන්ට ඉහළින් තිබෙන්නට හැකියාවක් නැති බැවිනි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT