Home » දීඝගේ දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර

දීඝගේ දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර

by chanaka
December 2, 2024 9:35 am 0 comment

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, අනුව එම හස්තියාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබීය.

සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබේ. හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බව වනජීවී නිලධාරීන් පැවසීය.

මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් හදවත අක්‍රිය වීම නිසා සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේය.

මෙම ඇතා මිය යෑමේ සිද්ධියට අදාළව අත්අඩගුවට ගත් රක්ෂණ සමාගමක කළමණාකරුවකු මෙම මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉකුත්දා (29) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණි.

ඔහුගේ නිවසේ තිබී විදුලි රැහැන් ඇතුලු ඉලේකට්‍රොනික් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.පලාගල ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර මෙම සත්ත්වයා වෙනුවෙන් පාංශ කූලය ලබා දීම ද ඉකුත් 29 වැනිදා දහවල් සිදු කෙරුණේ අනුරාධපුරයට මහ වැසි ඇද හැළෙන මොහොතක දීය.

තිසර සමල් – අනුරාධපුර

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT