Monday, April 21, 2025
Home » රජරට පළතුරු රසය ගෝලීය වෙළෙඳපොළට

රජරට පළතුරු රසය ගෝලීය වෙළෙඳපොළට

by chanaka
December 2, 2024 9:07 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) හරහා ශ්‍රී ලංකාවේ වාණිජ කෘෂිකාර්මික සංවර්ධනයට සහය දැක්වීමට ඵකඟවී ඇත.

විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට අඩු ඵලදායී ඉඩම්වල මහා පරිමාණ පළතුරු වගාව ප්‍රවර්ධනය කිරීම සහ වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම මඟින් ගොවීන්ට සෘජුවම ප්‍රතිලාභ ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම ප්‍රයත්නයේ කේන්ද්‍රීය අංගයක් වන්නේ උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය (NCPCP) වන අතර එය කළාපයේ කෘෂිකර්මාන්තය සඳහා ජල ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවති වැඩමුළුවකදී දිස්ත්‍රික්කය පුරා විශාල පරිමාණයෙන් අපනයනය ඉලක්ක කරගත් පළතුරු භෝග වගා කිරීමේ හැකියාව ගවේෂණය කරන ලදී. වර්ධනය වන ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ පළතුරු ස්ථානගත කිරීම මෙහි ඉලක්කයවේ.

ශ්‍රී ලංකාවේ පළතුරු අපනයනය පුළුල් කිරීමේ අවස්ථා සහ අභියෝග පිළිබඳව මෙම වැඩමුළුවේ දී සාකච්ඡා කෙරිණි.

අපනයනය සඳහා හඳුනාගත් ප්‍රධාන පළතුරු අතර අඹ, දෙළුම්, පේර සහ අන්නාසි පළතුර යි.

මෙම පළතුරු සඳහා ගෝලීය ඉල්ලුම පවතින අතර, නිෂ්පාදන තත්ත්වය වැඩිදියුණු කිරීම, ස්ථාවර සැපයුම සහතික කිරීම සහ වසර පුරා ලබා ගැනීමේ හැකියාව පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීමේ අවශ්‍යතාවය මෙම වැඩමුළුවේදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට රඹෑව, කහටගස්දිගිලිය, පලුගස්වැව, ගලෙන්බිදුනවැව, කැකිරාව සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති MWSIP ආයතනය මගින් මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණි.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT