Monday, April 21, 2025
Home » වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න
මුදල් ඉල්ලා පණිවිඩ එවන

වට්ස්ඇප් හැකරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න

-පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by sachintha
December 2, 2024 1:28 am 0 comment

වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන මූල්‍ය වංචාවන් රැසක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එබැවින් එවැනි ආකාරයේ සයිබර් වංචාවලින් ආරක්ෂා වීම සඳහා තම දුරකථනවලට ලැබෙන කිසිදු කේතයක් තෙවැනි පාර්ශව සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස සියලුම ජනතාවගෙන් යළිත් වතාවක් ඉල්ලා සිටින බව මේ සම්බන්ධව අදහස් දැක්වූ එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කළේය.

වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වන සයිබර් හැකරුන් විවිධ වට්ස්ඇප් සමූහයන් සමඟ සම්බන්ධව සිටින අතර සූක්ෂම ආකාරයෙන් එම සමූහයන් සමඟ සම්බන්ධ වට්ස්ඇප් පරිශීලකයන්ගේ එම ගිණුම්වලට පිවිසීමට අවස්ථාව ලබා ගන්නා බවද පැවසූ ඒ මහතා ඉන් පසු එම අංකය සමඟ සම්බන්ධ අනෙකුත් වට්ස්ඇප් පරිශීලකයන්ට හදිසි අවස්ථාවක් ලෙස දන්වා මුදල් ඉල්ලමින් පණිවිඩ යවන බවද සඳහන් කළේය.

එසේම ආගමික, අධ්‍යාපන වැනි අවස්ථාවන් පිළිබඳ මෙන්ම ත්‍යාග ලැබෙන විවිධ අවස්ථාවන් පිළිබඳ ද සදහන් කර සූම් රැස්වීම් සඳහා ආරාධනා කරන බව පවසා පණිවිඩ යොමු කරන බවද අවධාරණය කළේය. ඒ සඳහා දුරකථනයට ලැබුණු කේතය ලබා දෙන ලෙසද දන්වන බවත් පැවසූ ඒ මහතා සැබවින්ම මෙම හැකරුන් එහිදී ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමක් සඳහා සම්බන්ධ වීමේ කේතය නොව වට්ස්ඇප් ගිණුමට ප්‍රවේශ වීමේ කේතය බවද පැහැදිලි කළේය.

එලෙස එම සයිබර් හැකරුන් ඉල්ලා සිටින කේතය ලබා දුන් විට එකී වට්ස්ඇප් ගිණුමේ පාලනය ඔවුන් විසින් අත්පත් කර ගන්නා බවද වැඩිදුරටත් පැහැදිලි කළේය.

තම වට්ස්ඇප් ගිණුම හැකරුන් විසින් හැක් කර ඇති බව තහවුරු වුවහොත් එම දුරකථන අංකයට අදාළ වට්ස්ඇප් ගිණුම අයිති අය විසින් ඒ පිළිබඳ අනෙකුත් දුරකථන අංක අමතා (තම දුරකථනයේ අංක සඳහන් කර ගෙන ඇති) දැනුම්වත් කළ යුතු බවද පැවසුවේය. කිසියම් ලෙස තම හිතවතකුගේ වට්ස්ඇප් අංකයකින් හදිසි අවශ්‍යතාවකට කඩිනමින් මුදල් යොමු කරන ලෙස දන්වා පණිවිඩයක් යොමු වී තිබුණහොත්, එම කරුණ තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු ලෙසකින් හෝ මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බව අවධාරණය කරන බවත් පැවසීය.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT