Home » වගා හානි වන්දි දෙන්න බිලියනයක් වෙන් කරයි

වගා හානි වන්දි දෙන්න බිලියනයක් වෙන් කරයි

-ගොවීන් 175,000කගේ වගාවන් විනාශයි

by sachintha
December 2, 2024 1:27 am 0 comment

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ගංවතුරෙන් විනාශ වූ වගා හානි සඳහා රජය රුපියල් බිලියනයක් වෙන් කර ඇත. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවැසුවේ එම වගා හානි ලබාදීම අද(02) සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටිය ප්‍රදේශයෙන් ආරම්භ කරන බවයි. දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව පැවැති අධික වර්ෂාවත් සමඟ ගොවිබිම් අක්කර තුන්ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ විනාශ වී ඇති අතර ගොවීන් 175,000කගේ වගාවන් විනාශ වී තිබේ. ගංවතුරෙන් හානි වූ කුඹුරු යළි අස්වැද්දීමට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කියයි.

කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 40,000ක වන්දියක් ලැබෙන බවත්, වී වගාව පමණක් නොව බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, ලූනු, මිරිස් භෝග සඳහා ද ගංවතුරින් හානි සිදුවී ඇත්නම් ඒ සඳහා ද වන්දි ගෙවීම් සිදුකරන බවත් ප්‍රේමසිරි ජාසිංහ ආරච්චි මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසීමකදී ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගංවතුරෙන් හානියට පත් කුඹුරු යළි වගා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත්, මේ වන විට හානියට පත්වී ඇති වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු කරන බවයි.

මෙම මාසයේදීම යළිත් මහ කන්නයේ වී වගාව ඇරැඹීමට ගොවීන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඒ මහතා පැවැසීය. මඩකළපුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 50,000ක් පමණ ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 10,000ක් පමණද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 10,000ක් පමණ ද, අම්පාර ප්‍රදේශයේ කුඹුරු අක්කර 7,000ක්ද වවුනියා දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8,000 පමණ ද ගංවතුරෙන් විනාශ වී ඇතැයිද ඒ මහතා කියයි. සමස්තයක් ලෙස උතුරු සහ නැඟෙනහිර පළාත්වල අති විශාල කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT