ඒඩ්ස් රෝගය හඳුනාගත් මුල් කාලයේ පැවති ආකල්පවලට වඩා වර්තමානය වන විට මේ රෝගය සහ එයට ගොදුරු වූ පාර්ශ්වයන් සම්බන්ධ සමාජමය ආකල්පවල විශාල පරිවර්තනයක් දැකිය හැකි බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ 36 වැනි ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි.
මේ උත්සවය අග්‍රාමාත්‍යවරියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින් ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැත්විණි.
සෑම වසරකම දෙසැම්බර් මස පළමු වැනිදා (01) නම් කර ඇති ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වී ඇත්තේ “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” යන්නයි.
මේ සැමරුම් උලෙළට සමගාමීව පා ගමනක්, ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශ්වයන් සඳහා ‘කොන්ඩම් ඩිස්පෙන්සර්ස්’ බෙදා දීමක් මෙන්ම පා ගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් ඉහළ අහසට යැවීමේ වැඩසටහනක් ද පැමිණ සිටි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ආරම්භ කළ විශේෂ පා ගමන ගාලු මුවදොර පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගර ශාලා වටරවුම, රෝහල් චතුරස්‍රය, අක්ෂි රෝහල පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන කාර්යාලය දක්වා ගමන් කරන ලදී.
මේ පා ගමනට අග්‍රාමාත්‍යවරිය, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඒඩ්ස් රෝගය මර්දනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
මේ සැමරුම් උත්සවය ඇමැතූ අග්‍රාමාත්‍යවරිය මෙලෙස පැවසුවාය.
“ඒඩ්ස් රෝගය හඳුනාගත් මුල් කාලයේ පැවති ආකල්පවලට වඩා වර්තමානය වන විට මේ රෝගය සහ එයට ගොදුරු වූ පාර්ශ්ව සම්බන්ධ සමාජමය ආකල්පවල විශාල පරිවර්තනයක් දැකිය හැකියි. එය ඉතාමත් සාධනීය තත්ත්වයක්. එදා ඒඩ්ස් වයිරසය ආසාදිත වීම පිළිබඳව සමාජය භීතියට සහ ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ආසාදිතයන් ප්‍රතික්ෂේප කළා.
නමුත් වර්තමානය වන විට සෞඛ්‍ය සේවාවල නව සොයා ගැනීම්, ප්‍රතිකාර සේවාවල වර්ධනය, සමාජය තුළ යහපත් කතිකාවක් සිදුවීම ආදියෙන් එම ආසාදිතයන්ගේ මානව අයිතිවාසිකම් රැකගැනීම දක්වා අප වෙනස්ම ස්ථාවරයකට පැමිණ සිටිනවා. මෙය ඉතාමත් ප්‍රශංසනීය තත්ත්වයක්. වර්තමානයේ බෝවන රෝග, ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමේදී එය කිසිසේත්ම මානව අයිතිවාසිකම් මර්දනය කර ක්‍රියාත්මක නොකළ යුතු තත්ත්වයකට දේශීය වශයෙනුත්, ගෝලීය වශයෙනුත් පිළිගැනීමක් ඇතිවී තිබෙනවා. මේ රෝග වළක්වාගැනීමට නම් සමාජය අවබෝධයෙන් යුතුව මනා කතිකාවකින් ක්‍රියාත්මක වීම වැදගත්. සෞඛ්‍ය සේවාවලින් පමණක් නොව මනුෂ්‍යත්වය තුළිනුත් මේ රෝග වළක්වා ගැනීමට සහ රෝගීන් රැකබලාගැනීම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
“ආසියාවේ ඒඩ්ස් රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස අපේ රට හැඳින්විය හැකියි. විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව රෝගීන්ගේ ප්‍රමාණය සැලකීමේදී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක්. ඒ සඳහා මෙවැනි ක්‍රියාකාරකම් බෙහෙවින් හේතුසාධක වෙනවා. ගෙවුණු වසරේදී ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩිවීමක් වාර්තා වුණා. එම තත්ත්වය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව තිබෙනවා.
ඒ අනුව රෝගීන් හඳුනාගැනීම, රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම යන සෑම ක්ෂේත්‍රයකටම දැඩි අවධානයකින් මැදිහත්වීමක් කළ යුතු කාලය එළැඹ තිබෙනවා. තවද රෝගීන් හඳුනාගැනීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ ගරුත්වය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් ඉතා වැදගත්.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මෙන්ම ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (FPA), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) යන ආයතනවල සහයෝගීතාවයෙන් මේ සැමරුම් උත්සවය, දැනුම්වත් කිරීමේ වැඩසටහන සහ පා ගමන සංවිධානය කරන ලදි.