Tuesday, April 22, 2025
Home » ජාතික සැලැස්මකට අනුව ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි

ජාතික සැලැස්මකට අනුව ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි

- නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති සුගත් තිලකරත්න

by sachintha
November 30, 2024 1:49 am 0 comment

ජාතික සැලැස්මකට අනුව ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවත්, අප සියලුදෙනාම එක අරමුණක් වෙනුවෙන් කැප විය යුතු බවත් එවිට ලෝකය ජය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා පැවසීය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පෙරේදා (28) සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වූ අවස්ථාවේදී මේ බව පැවසූ සුගත් තිලකරත්න මහතා තම කණ්ඩායම රටේ සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් වග කිව යුතු බවත්, මෙතෙක් කල් ක්‍රීඩාවට නිවැරදි සැලැස්මක් තිබුණා නම් අද වන විට ක්‍රීඩාව නිවැරදි මාවතට අවතීර්ණවී තිබෙනු ඇති බවත්, වර්තමානයේ පවතින ක්‍රීඩාවේ කඩා වැටීම දෙස බැලූවිට ජාතික සැලැස්මකට අනුව ඉදිරියට යා යුතු බවත් කීය.

පාසල් ක්‍රීඩාවට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ක්‍රීඩාව වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම උපරිමයෙන් ලබා දීමට සූදානම් බවත් කී ඒ මහතා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් ආදායම් උපදවා පාසල් දරුවන් සඳහා ක්‍රීඩා පහසුකම් හා පුහුණු වීම් වැඩි වශයෙන් ලබා දීමට කටයුතු කරන බවත් පැවසුවේය.

“පාසල් ක්‍රීඩාව දෙස අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය හරහා අපිට පාසල් ක්‍රීඩාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දිය හැකියි. මෙතෙක් ක්‍රීඩාවට රාජ්‍ය මැදිහත්වීම ඉතා දුර්වල මට්ටමක පැවතියේ. ඉදිරියේදී අපි ක්‍රීඩාව වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම උපරිමයෙන් ලබා දීමට කටයුතු කරනවා.”

“සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් ලබා දෙන සේවාවන් සහ පහසුකම් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා සංගම්, සම්මේලන හා පෞද්ගලික අංශ වෙත ලබා දී ආදායම් උපදවා පාසල් දරුවන් සඳහා ක්‍රීඩා පහසුකම් හා පුහුණු වීම් වැඩි වශයෙන් ලබා දීමට කටයුතු කරමු.”

“මට සුගතදාස ක්‍රීඩා සංකීර්ණය කියන්නේ අලුත් තැනක් නොවෙයි. එදා සිට අද දක්වා සියලු වැඩ කටයුතු සිදු වූ ආකාරය මම දුටුවා. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීම සඳහා මහඟු තෝතැන්නක්. අප මෙතෙන්ට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමු.” තිලකරත්න මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT