Home » ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 55ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 55ක ජයක්

by sachintha
November 30, 2024 1:41 am 0 comment

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් හිමි කර ගැනීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

‘බී’ කාණ්ඩය යටතේ සාජාහිදී පැවති තරගයේ නේපාල පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 233ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට ඕවර 46.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 178ක් පමණි.

පන්දු 90කින් ලකුණු 61ක් රැස් කළ මායන් යාදව් නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, නේපාල අවසන් කඩුලු 4 ලකුණු 14ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී ප්‍රවීන් මනීෂ කඩුලු 3ක් බිඳ දැමූ අතර, නිව්ටන් රන්ජිත් කුමාර්, මාතුලන් කුගදාස් සහ විහස් තෙව්මික කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශාරුජන් සන්මුගනාදන් ලකුණු 62 සහ ලක්වින් අබේසිංහ ලකුණු 50ක් රැස් කළහ. හතරේ පහර 2ක් එල්ල කළ ශාරුජන් පන්දු 99කට මුහුණ දුන් අතර, ලක්වින් පන්දු 53කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කළේය. දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩනැඟිනි. පන්දු යැවීමේදී සන්තෝෂ් යාදව් කඩුලු 4ක් සහ

යුවරාජ් ඛත්‍රි කඩුලු 2ක් දවා ගත්හ. තරගයේ වීරයා ලෙස ශාරුජන් ශන්මුගනාදන් නම් කෙරිණි.

‘බී’ කාණ්ඩය යටතේ පැවති අනෙක් තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 45කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් විය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (1) ඇෆ්ගනිස්තානයට එරෙහිව සාජාහිදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිල – 233 (ඕවර 50) ශාරුජන් ශන්මුගනාදන් 62, ලක්වින් අබේසිංහ 50, කවිජ ගමගේ 37, විමත් දින්සර 24, දුල්නෙත් සිගේරා 24 සන්තෝෂ් යාදව් 45/4, යුවරාජ් ඛත්‍රි 44/2)

නේපාල යොවුන් පිල – 178 (ඕවර 46.2) මයාන් යාදව් 61 (ප්‍රවින් මනීෂ 30/3, නිව්ටන් රන්ජිත්කුමාර් 17/2, මාතුලන් කුගදාස් 21/2, විහස් තෙව්මික 51/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT