Home » රටම බියවැද්දූ මිනීමරු තෝරා කලමුල්ලේදී දැලේ

රටම බියවැද්දූ මිනීමරු තෝරා කලමුල්ලේදී දැලේ

by sachintha
November 30, 2024 1:46 am 0 comment

මිනිසුන් බියවද්දා කප්පම් ලබාගත් මනුෂ්‍ය ඝාතන රැසකට අවශ්‍යව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන තෝරා නමැති පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (28) පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත පයාගල පොලිස් වසමේ අලුත් පල්ලිය පිටුපස කලමුල්ල, කළුතර ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 මිලිග්‍රෑම් 800ක් සහ ජංගම දුරකතනයක් සමඟ කලමුල්ල, කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළුතර, පයාගල සහ කටුකුරුන්ද ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු මහජනයා බියවද්දා මරණීය තර්ජන එල්ල කරමින් විශාල ප්‍රමාණයේ කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයෙකි.

සැකකරු දකුණු හා බස්නාහිර පළාතෙහි සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදු කිරීම සම්බන්ධව අවශ්‍ය වන සැකකරුවකු බව පොලීසිය පවසයි.

මෙම සැකකරු මීට ප්‍රථම විෂ මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල කිරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව මේ වන විට ඇප මත මුදාහැර සිටින පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT