Home » ඝාතනයකට යමින් සිටි හිටපු හමුදා සෙබළා ඇතුළු දෙකක් දැලේ

ඝාතනයකට යමින් සිටි හිටපු හමුදා සෙබළා ඇතුළු දෙකක් දැලේ

හෝමාගම ගලවිලවත්ත ව්‍යාපාරිකයකුට වෙඩි තැබුවේ මොහුයි - පොලීසිය කියයි

by sachintha
November 30, 2024 1:30 am 0 comment

හෝමාගම, ගලවිලවත්ත සිල්ඩෝරාවත්තේ නි‍ෙවසක පුද්ගලයෙකුට ඉකුත් 14 වැනිදා රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු තවත් පුද්ගලයකු සමඟ හඳපාන්ගොඩ ප්‍රදේශයේ නි‍ෙවසකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී 3.8 වර්ගයේ පිස්තෝල ගිනිඅවියක්, ඊට යොදන උණ්ඩ හයක් සමඟ මීගොඩ ආටිගල ප්‍රදේශයේදී පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලා ආ 23 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු හෝමාගම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇති බවත් අනෙක් සැකකරු මීගොඩ, දාම්පේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදී පුද්ගලයෙකු බවත් පොලීසිය පවසයි.

හෝමාගම, ගලවිලවත්ත සිල්ඩෝරාවත්තේ නි‍ෙවසකට ඉකුත් 14 වැනිදා පැමිණි පුද්ගලයින් දෙදෙනකු ටී 56 වර්ගයේ ගිනිඅවියකින් එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකොට පලා ගොස් තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සොයා හෝමාගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කළේය.

මේ අතර සැකකරුවන් සොයා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානක පෙරේරා මහතා විසින් එම කොට්ඨාසයේ නිලධාරින්ට ද තවත් විමර්ශනයක් සිදු කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව ඒකක අංක 3 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කරද්දී හෝමාගම, ගලවිලවත්තේ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු තවත් පුද්ගලයෙකු සමඟ මීගොඩ ප්‍රදේශයට පැමිණෙන බවට පොලිස් කොස්තාපල් (76495) ක්‍රිශාන්ත නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව නිලධාරි කණ්ඩායමක් මීගොඩ, ආටිගල ප්‍රදේශයේ සිදු කළ හදිසි මාර්ග බාධකයක දී පැමිණි යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එහි පසුපැදිකරුගේ ඉණේ සඟවා තිබී බ්‍රසීලයේ නිෂ්පාදිත 3.8 වර්ගයේ පිස්තෝල ගිනිඅවියක් ඊට යොදන ජීව උණ්ඩ හයක් ද සොයාගෙන තිබේ.

පසුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම පසුපැදිකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ 10 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කොට 2023 වසරේදී ඉන් ඉවත් වූ පුද්ගලයකු බවත් ඉකුත් 14 දා හෝමාගම, ගලවිල වත්තේ නි‍ෙවසක පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ලෙස ක්‍රියා කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.

තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත් යතුරුපැදිය ඉකුත් 13 වැනිදා සිදු වූ බඩෝවිට තුන්වන අදියරේ පදිංචිව සිටි සුදුවා දේවගේ ගයාෂාන් චතුරංග ප්‍රනාන්දු නමැත්තා ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදිය බවටත් එම යතුරුපැදිය මාර්තු 31 වැනිදා කඩවත පොලිස් වසමෙන් සොරාගත් එකක් බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙදින යමින් සිට ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා කඩවත, නැදිමාල පාරේ පිහිටි තරංගා කොමියුනිකේෂන් ආයතනය ඉදිරිපිටදී නාරාහේන්පිටගේ අනුර කොස්තා නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවීම නිසා දැනට බන්ධනාගාරගතව සිටින සැකකරුගේ හඳපාන්ගොඩ පිහිටි නි‍ෙවසේ පුද්ගලයින්ට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් බවට ද තොරතුරක් අනාවරණය වූ බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රුප්පගොඩ සිරිවර්ධන ගමගේ අජිත් අකලංක ධනුෂ්ක නොහොත් Òකොස් මල්ලිÓ යන අන්වර්ථ නාමයෙන් හඳුන්ව පුද්ගලයා එම වෙඩි තැබීම සිදුකරන ලෙසට උපදෙස් දී තිබූ බවත් ඔහුගේ සහ ජාකොඩි ආරච්චිගේ තනූජ සම්පත් නොහොත් Òහෝමාගම හඳයාÓ යන දෙදෙනාගේම මෙහෙයවීමෙන් හෝමාගම, ගලවිලවත්තේ වෙඩි තැබීම් සිදුකර ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

හෝමාගම වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය එම නි‍ෙවසට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක අත්හැර දමා තිබියදී එදින රාත්‍රියේම පොලීසිය මඟින් සොයාගෙන තිබු අතර වෙඩි තැබීමට භාවිත කළ ටී 56 වර්ගයේ ගිනිඅවිය මෙතෙක් සොයාගෙන නොමැත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා සමඟ බ්‍රසීලයේ නිෂ්පාදිත 3.8 වර්ගයේ පිස්තෝල ගිනිඅවියක්, ඊට යොදන උණ්ඩ හයක්, අපාචී වර්ගයේ යතුරුපැදියක්, හෙල්මට් දෙකක්, ජංගම දුරකතන දෙකක්, වැහි කබා දෙකක්, අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම සහ දෙහිවල පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිතය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT