Home » රටේ සමස්ත කර්මාන්ත ජාතික සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනවා

රටේ සමස්ත කර්මාන්ත ජාතික සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනවා

-කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
November 30, 2024 1:16 am 0 comment

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැඟුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව ආණ්ඩුව කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ පසුගියදා (28) කටුබැද්ද පිහිටි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ද එක්ව සිටි අතර ඇමැතිවරුන්ගේ මූලික අරමුණ වූයේ කර්මාන්තකරුවන්ට පහසුකම් සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කටයුතු නිවැරදි දිශානතියකට යොමු කරවමින් දේශීය කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත ගොඩනැංවීම සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමයි.

මෙහිදී ඇමැතිවරුන් ඉංජිනේරු, වාත්තු, වාත්තු මල් නිෂ්පාදන, රසායනාගාර, වැඩබිම් ඇතුළු ආයතනයේ විවිධ අංශවල කටයුතු පිළිබඳව සොයා බැලූ අතර එම අංශවල පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර කර්මාන්තකරුවන්ට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදෙන ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්ත පුර 33ක් හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ තවත් කර්මාන්තපුර 17ක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙම කර්මාන්ත පුරවලින් බොහොමයක් දේශපාලන වුවමනාවන් මත ආරම්භ කළ ඒවා. මෙම කර්මාන්තපුර දේශපාලන සැලැස්මකට මිස ජාතික සැලැස්මකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් බලයට පත්වූ වත්මන් රජය ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව යමින් කර්මාන්තපුර ඇතුළු රටේ අනිකුත් කර්මාන්ත ගොඩනැඟීමට කටයුතු කරනවා. මෙම ජාතික සැලැස්ම යටතේ ජාතික නිෂ්පාදනය වැඩිකර ගැනීමටත් ඒ තුළින් රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කර අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.

කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් බවත්, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම පිළිබඳව සහතිකයක් කර්මාන්තකරුවන්ට ලබා දෙන අතර සියලුම රාජ්‍ය ආයතනවල ඇති අමුද්‍රව්‍ය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා කර්මාන්තකරුවන්ට ලබා දීමට පියවර ගන්නවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසිංහ, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක, අමාත්‍යාංශ නිලධාරින් හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු සහභාගි වූහ.

 

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT