Saturday, April 19, 2025
Home » දීඝ ජන්තු වෙනුවෙන්

දීඝ ජන්තු වෙනුවෙන්

by sachintha
November 30, 2024 1:10 am 0 comment

සද්දන්ත යන්නේ අර්ථ ගණනාවක් ඇත්තේය. ඇතෙකුගේ දළ යුග්මය මැණිකක් තුළින් බැලූ විට එහි වර්තන ගතිකය හේතුවෙන් සයක් සේ පෙනෙන බැවින් එය ඡට් හෙවත් සය ලෙස ගෙන ඡට්දන්ත යන්න සද්දන්ත වූවා යැයි කියැවේ. සක් දෙවිඳුන්ගේ ඇත් ඓරාවණ දළ සයක් ඇත්තේ බැවින් ඡට්දන්ත නම් විය. අනික හොඬවැල, වලිගය, පාද සතර සහ ලිංගේන්ද්‍රිය යන සත් ස්ථාන, මහපොළොව සමඟ ගැටෙන ඇතුන් විශේෂයක් වේ. සද්+අන්ත = සද්දන්ත යන ද්විත්ව රූප සන්ධිය ප්‍රකාරව ඔවුහු සද්දන්ත වන්නාහ. මේ ආකාරයට සද්දන්ත යන කෝෂාර්ථ පිරික්සා බලන කල, එයින් මූලික ආකාරයට ගම්‍ය වන්නේ මහා, විසල් යන හැඳින්වීමය. සිංහල ශබ්ද කෝෂයේ සද්දන්ත සඳහා අර්ථ දෙනුයේ ඉතා විශාල, බොහෝ ලොකු, දත් හයක් සහිත ඇත් විශේෂයක් යනාදී ආකාරයටය.

සද්දන්ත වචනයට පෙර සිංහල ශබ්ද කෝෂය දක්වන්නේ සද්ජන යන පදයය. යහපත් මිනිසුන් යන්න එහි අර්ථය බව ශබ්ද කෝෂයේ සඳහන්ය. අද මේ තීරුව ලියැවෙන්නේ මේ පද දෙක අතර ප්‍රශ්නයක් මුල්කරගෙනය.

කලාවැවට සදාකාලික ආලෝකයක් වන්නේ අවුකන බුදු පිළිමය. ගලෙන් නෙළු ඒ විස්කම නිර්මාණය ඓතිහාසිකය. නූතනයේ කලාවැව හැඩ කළ තවත් ලකුණක් වූයේ දීඝ ජන්තුය. කලාවැව ජාතික වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය බවට පත්වූයේ මේ සජීවී උරුමයය. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී, ඒ අලංකාර දැවැන්තයා පෙරේදා සමුගත්තේය. මේ රටේ අලි ඇත් පරපුර සමුගෙන යන්නේ වසංගතයකට ගොදුරු වූ පරිද්දෙනි. සද්දන්තයන් පිළිබඳව සද්ජන මනසින් නොබැලීමේ විපාකයක් ලෙස දීඝ ජන්තු ද එම වසංගතයට ගොදුරුව සමුගෙන ගොස් ඇත.

වෙන ඡන්ද කාලයකදී හැමතැනම දැකිය හැකි අලියා ලකුණ දැන් ඇත්තේම නැත. අලියා දිගටම දේශපාලන වශයෙන් ඇලියාවට ගිය හෙයින් ඡන්ද කොළේ ද ඇත්තේ නැත. අලියා, එක් කාලයක ගිනිපෙට්ටියේ ද විය. දැන් එහි ද නැත. තවම අලියා ශේෂ වී සිටින්නේ බීම බෝතලයේ පමණය. ඒ අතරේම මේ රටේ අලි ඇත් පරපුර ද මරාගෙන යන්නේ හෙයින් තව ටික දිනකින් අලියා ශේෂ වනු ඇත්තේ පුළුන් පුරවා ඇති රාජා ඇතා වැනි ස්මාරක සහ චිත්‍රවලට පමණය.

ගජ – මානව ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ගහනය විශාල ලෙස අඩුවෙමින් පවතින්නේය. 2023 වසරේ අලි – මිනිස් ගැටුම දෙස බැලූ විට පෙනී යන කාරණය අදහාගත නොහැකි තරමේ බරපතළ තත්ත්වයකි. එම වසරේදී අලි ඇතුන්ගේ ප්‍රහාරවලට ලක්ව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 176කි. මේ කාලයේදී අලි ඇතුන් 470ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙයින් අඩක් මානව ක්‍රියා හේතුවෙනි. දීඝ ජන්තු මිය යන්නේ ද ඒ ආකාරයේ මානව ක්‍රියාකලාපයක් ලෙසය. සෙසු අලි මරණ රෝගී තත්ත්වයන් හෝ අනතුරු හේතුවෙන් සිදුව තිබේ. 2023 වසරේදී අලි – මිනිස් ගැටුම් හේතුවෙන් සෑම දින දෙකකට වරක් මිනිස් මරණයක් සිදු විය. එක් අලියෙකු හෝ ඇතෙකුට වඩා මේ සෑම දිනයකදීම මරණයට පත්විය.

මේ කාරණය අනුව බලන කල අලි පරපුර වඳවීම සඳහා කුමන ආකාරයේ බාධක යෙදුවේ වුවද, මිනිසා සමඟ ඇති ගැටුම සඳහා නිමාවක් යොදන තාක් කල්, එය නිමා නොවන්නේය. මේ වසරේ මුල් මාස හයට අලි මරණ 197ක් සහ මිනිස් මරණ 73ක් වාර්තා වී තිබේ. මේ ආකාරයේ ඛේදජනක තත්ත්වයක් සඳහා පර්යේෂණ වාර්තා, සිද්ධි අධ්‍යයන වැනි ක්‍රියාකලාප පමණක් සෑහෙන්නේ නැත.

දීඝ ජන්තු ඇතා වෙත මීට පෙර ද වෙඩි පහර එල්ල කර එම සතා පාදයක් නොන්ඩි ගසමින් ඇවිදින ආකාරය මාධ්‍යයේ ප්‍රසිද්ධ විය. මේ සඳහා පශු වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඇතා සුවපත් විය. දළ යුග්මයේ වටිනාකම හේතුවෙන් මේ ආකාරයට ඌ ප්‍රහාරයට ලක්වූවා නිසැකය. මෙතැනදී මිනිසා බලන්නේ ළඟ වටිනාකම පමණය. කලාවැව රක්ෂිතය මුළුමනින්ම හැඩ කරන ලද්දේ මේ සතාය. ඒ වටිනාකම අසද්ජන මනසට වැටහෙන්නේ නැත.

දළ උදෙසා ඇත්තු දඩයම යනු අලි – මිනිස් ගැටුමේ කතාවක් නොවේ. ඒ සඳහා ළඟ ළඟ පිළියමක් අවශ්‍යයය. අප්‍රිකාවේ ඇතුන් දඩයම මුළුමනින්ම අංගෝපාංග වෙ‍ෙළඳාම සඳහා වුවකි. එය නතර කිරීම සඳහා ලෝකයම මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස අඛණ්ඩව පස්වෙනි වසරටත් එම් කලාපයේ ඇතුන් දඩයම පහළ ගොස් ඇත්තේය.

මෙම උදාහරණය අනුව කටයුතු කළහොත් අලි ඇතුන් දඩයම අවම කර ගත හැක්කේය. ඊළඟ පියවර වනුයේ මිනිසා සමඟ ඇති ගැටුම සමථයකට ගෙනඒමය. ඒ සඳහා යෝජනා රාශියක් ඉදිරියට ඇවිත් තිබුණ ද වැඩේ සඳහා අඛණ්ඩ ක්‍රියා පිළිවෙතක් සහ නායකත්වයක් නොවීම හේතුවෙන් තවම අඛණ්ඩ ලෙස මෙම ගැටුම පවතින්නේය. දිනමිණ යෝජනාව වන්නේ මේ සඳහා පරිසරවේදීන්, ලෝක අත්දැකීම් සහිත ප්‍රජාව සහ අදාළ බලධාරීන් ඇතුළත් කර පූර්ණ බලැති කොමිසමක් ස්ථාපිත කරන ලෙසය. කාල රාමු සහිතව එම කොමිසම ක්‍රියාත්මක වුවහොත්, මෙම ගැටුම සඳහා නිමාවක් සටහන් වෙනවා ඇත. දීඝ ජන්තුගේ මරණය වූ කලී පාඩමක් මිස අඳෝනාවක් නොවන්නේ ඒ තැනට වැඩේ පත් කර ගත හොත් පමණය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT