Home » යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් සටන අද ඇරඹේ

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව සාජා පිටියට

by mahesh
November 29, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­යම් නාය­කයෝ

අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය 11 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

කණ්ඩායම් 8ක් මූලික වටයේදී කාණ්ඩ දෙකකින් තරග වදින මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය එම කාණ්ඩයට තරග වදින අතර, ඉන්දියාව, පාකිස්තානය, සත්කාරක එමීර් සහ ජපානය ‘ඒ’ කාණ්ඩයට එක්ව සිටී.

තරගාවලියේ පළමු තරගය අද ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව දෙවැනි තරගයට එක් වන්නේ නේපාලයට එරෙහිව සාජාහිදීය. සියලු තරග මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වෙයි.

මූලික වටයේදී එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් 3 සමඟින් තරග වදින අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට එක් වෙයි. එම තරග ලබන මස 6 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහ තරගය 8 වැනිදා ඩුබායිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ දෙවැනි තරගය දෙසැම්බර් 1 වැනිදා සාජාහිදීම ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන අතර, මූලික වටයේ අවසන් තරගය 3 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායිහිදී පැවැත්වේ.

මේ තරගාවලියේ වත්මන් ශූරයන් ලෙස බංග්ලා‍ෙද්ශය (2023) තරග බිමට පිවිසෙන අතර, ඉන්දියාව 8 වරක්, ඇෆ්ගනිස්තානය (2017) එක්වරක් සහ පාකිස්තානය 2012දී ඉන්දියාව සමඟින් සම ශූරයන් වී තිබේ.

වැඩිම අනුශූරතා ගණනකට හිමිකම් කියන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, ඒ අනුශූරතා 5ක් සමඟිනි. 1989, 2016, 2018, 2021 සහ 2023 දී ශ්‍රී ලංකාවට අනුශූරතා හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT