Home » ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න
දේශපාලන භේද අමතක කළත් ඇතැමුන් සිදු කළ හොරකම් අමතක කරන්නේ නෑ

ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර මහතාගෙන් ඉල්ලීමක්

by mahesh
November 29, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා සුගතදාස ධාවන පථයේ සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳ අවධානය යොමු කළ අයුරු. නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුගත් තිලකරත්න හා එරංග ගුණසේකර යන මහත්වරු ද සිටිති.

දේශපාලන භේද අමතකකොට වැඩ කළත්, මේ රටේ ඇතැම් පිරිස් සිදු කළ හොරකම්, වංචා, දූෂණ අමතක කළ නොහැකි යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පවසයි. තම රජයේ අරමුණ මානව දයාවෙන් පිරි සමාජයක් ගොඩනැඟීම බවත්, ඒ සඳහා වංචාවෙන් හා දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවත් ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය.‍

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ පෙරවරුවේ එක්වෙමිනි. ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

“ඔබේ ආයතනය තුළ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න පුළුවන්. මෙයට කලින් එසේ කීමට ඔබට නොහැකි වුණා. ඒ අමාත්‍යවරයාගේ සිට ඉහළ නිලධාරීන් කොතැනක හෝ සම්බන්ධයක් තිබුණ නිසා. දැන් එහෙම නෑ. භය වෙන්න එපා. අප සමඟ එකතු වෙන්න. දේශපාලනය, පක්ෂ භේද, මෙතෙක් සිදුවූ සුළු සුළු අඩුපාඩු අමතක කරලා වැඩ පටන් ගමු. හැබැයි සිදු කළ හොරකම්, වංචා, දූෂණ අමතක කරන්න බෑ” ඇමැතිවරයා පැවසීය.

“ජනාධිපතිවරයා ඇතුළු අපේ රජයේ අරමුණ ජාතිවාදී, ආගම්වාදී භේද නැති සමාජයක් ගොඩනඟා රට දියුණු කිරීමයි. ජාතික සමඟිය අපේ ප්‍රමුඛ කාර්යයක්. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැලසුමකට අනුව අපි වැඩ ආරම්භ කළ යුතුයි.”

“වර්තමාන තරුණ පරපුර මත්ද්‍රවලින් මුදා ගත යුතුයි. ඒ වගේම මේ රට දාලා පිටරට යන එක නවත්වා ගැනීමත් කළ යුතුයි. තරුණ පරපුරේ රැකියා සුරක්ෂිතභාවය රැකදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට මහඟු මෙහෙයක් ඉටු කළ හැකි බව මගේ විශ්වාසයයි. ජයග්‍රහණ ලබන ක්‍රීඩා වැඩිදියුණු කිරීම වගේම ජයග්‍රහණ නොමැති ක්‍රීඩා ජයග්‍රහණ කරා ගෙන යාම කළ යුතුයි. ජය පරාජය දෙකම හුරු ගුණාත්මක ක්‍රීඩකයෙක් බිහිකිරීම වැදගත්” ඇමැතිවරයා සඳහන් කළේය.

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පාලනය වන සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරීශ්‍රයේ පර්චස් 73ක කොටසක් ගැසට් පත්‍රයක් මඟින් පෞද්ගලික හිමිකරුවෙක් වෙත පවරා දීම, දේශපාලන නියෝගයකට අනුව පවරා දුන් නුවරඑළිය තුරඟ තරග පිටිය, අධිකාරිය වෙත අය විය යුතු ලක්ෂ 70ක පමණ හිඟ මුදල් නොගෙවන ආයතන පිළිබඳ ඇමැතිවරයාගේ අවධානය යොමු විය. ඒමෙන්ම සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ ඇති ක්‍රීඩාංගණය, පිහිනුම් තටාක හා ක්‍රීඩා හෝටලය සංවර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ගාමිණී වික්‍රමපාල හා එහි අධ්‍යක්ෂ එච්.එම්.සී.බී. හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT