බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබියදී පසුගිය 18 වැනිදා මිනුවන්ගොඩදී රුපියල් කෝටි හතහමාරක මුදලක් සොරා ගැනීමේ සැලසුම පිටුපස මෙරට ජනප්‍රිය ගායකයකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ.
සොරාගත් මුදලින් රුපියල් කෝටියක පමණ මුදල් ප්‍රමාණයක් එම ගායකයාගේ සහෝදරයාට ලැබී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එම මුදල් ගෝනියක දමාගෙන එම ගායකයාගේ සහෝදරයා යතුරුපැදියකින් ගමන් කරන අයුරු ආරක්ෂක කැමරාවක පවා සටහන්ව ඇති බව නිහාල් තල්දූව මහතා කීය. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟ ගායකයාගේ සහෝදරයා ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බව ද නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම ගායකයාගේ සහෝදරයාට ලැබී ඇත්තේ සොරාගත් මුදල් අතර තිබුණු අලුත්ම නෝට්ටු තොගයක් බව පොලීසිය සඳහන් කරයි. එම නෝට්ටු මාරු කිරීම අවදානම් බව සොරකමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් බියට පත්වන විට එම නෝට්ටු තොගය ගායකයාගේ සහෝදරයා විසින් ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි නිහාල් තල්දූව මහතා කීය.
සොරකම සිදු කළ මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරන සීදූවේ පිහිටි ආයතනයේ රියැදුරා සහ සොරාගත් මුදල් සමඟ රියැදුරාව යතුරුපැදියකින් රැගෙන ගොස් මුදල් බෙදා ගැනීමට සම්බන්ධ වූ පුද්ගලයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ සෙවණගල දේවාලයකදී පසුගිය 26 වැනිදා බව නිල නොලත් තොරතුරු සඳහන් කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් ඊයේ (28) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ ප්‍රධාන සැකකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (27) දහවල් කාලයේදී මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 167ක් ද සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව එහි සඳහන්ය.
මෙම සැකකරුවන් අවුරුදු 37 හා 40 යන වයස්වල පසුවන අය බවත් සීදූව හා උඩුගම්පොළ පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
සොරකම සිදුකර පැය 24කට වැඩි කාලයක් සැකකරුවන් දෙදෙනා ගම්පහ රැඳී නොසිට යාපනය බලා පලා ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගැනීමට සැලසුම් කර ඇති බව පොලීසිය කියයි. ඔවුන් එසේ රටින් පලායෑමේ සූදානමින් යාපනය බලා පිටත්ව යන අතරතුර පොලීසිය සොරාගත් මුදලින් රුපියල් කෝටි 03කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබුණේ යතුරුපැදියක් ද සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනිමිනි.
ගායකයාගේ සහෝදරයාට රුපියල් කෝටියක් හෝ ඒ ආසන්න මුදලක් ලබාදී ඇති බව කියැවෙන බැවින් සොයාගත් මුදල් හා ගායකයාගේ සහෝදරයාට ලබාදුන් මුදල් ද සමඟ සොරාගත් මුදලින් රුපියල් කෝටි 04කට වැඩි මුදලක් ගැන තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. තවත් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සැකකරුවන් සතුව තිබියදී සොයාගෙන ඇත. එහෙත් තවත් සොයා ගැනීමට මුදල් ඇති බව පොලීසිය කියයි. ඔවුන් ඉන්දියාවට පැනයෑමේ සූදානමින් යාපනයට යන විට විශාල මුදලක් රැගෙන ගිය බවක් මෙතෙක් අනාවරණය වී නැත. ඒ අනුව ගායකයාගේ සහෝදරයාට ලබාදුන් මුදල් ද සමඟ සොරාගත් ඉතිරි මුදල සොයා ගැනීමේ අභියෝගය පොලීසියට මේ වන විට එල්ලවී තිබේ.