ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලෙහි කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට රටපුරා විවිධ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ හමුදාවේ හිටපු සෙබළෙකු කටාන පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සෙබළා කොටස් වෙළඳපොළේ මුදල් ආයෝජනය කරන්නෙක් ලෙස ද, පලතුරු සහ එළවළු අපනයනය කරන්නෙක් ලෙස ද පෙනී සිටිමින් මෙම වංචාව සිදුකර ඇතැයි පොලීසිය කියයි.
මොහුගේ මෙම වංචාවට යුද හමුදාවේ නිලධාරීන්, ගුරුවරු ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයන් හසුවී ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. සියයට 7ක පොලියක් මසකට ලබා දෙන බව සඳහන් කරමින් ඔහු විසින් මුදල් ලබාගෙන ඇති බවත් රටපුරා ඔහු විසින් සිදුකර ඇති වංචාව රුපියල් කෝටි 06 ඉක්මවන බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
මෙම පුද්ගලයා 2019 වසරේ හිඟුරක්ගොඩ පිහිටි හමුදා කඳවුරක සේවයේ නිරතව සිටියදී හමුදාවේ සාමාජිකයන් රවටමින් වංචා කිරීම්වල නිරතව සිට ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම සැකකරු අල්ලා දෙන අයකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවිධානගත වූ මෙම පුද්ගලයාගේ වංචාවට හසුවූ පිරිසක් සඳහන් කර තිබී ඇති බව ද පොලීසිය කියයි.
කටාන ප්‍රදේශයේ පදිංචි එළවළු හා පලතුරු තොග අලෙවි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 11ක පලතුරු සහ එළවළු අපනයනය කිරීමට යැයි සඳහන් කරමින් මිලදී ගෙන අගරු චෙක්පතක් ලබාදීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
බකමූණේ පදිංචිකරුවෙක් වන 41 හැවිරිදි මෙම හමුදා සෙබළා විසින් සිදුකර ඇති වංචා සම්බන්ධයෙන් බකමූණ, ඇඹිලිපිටිය, අම්බලන්ගොඩ සහ දඹුල්ල යන පොලිස් ස්ථානවලට ද අවශ්‍ය කරන සැකකරුවෙක් බව කටාන පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේය.