Home » දකුණු ගුජරාත් වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

දකුණු ගුජරාත් වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

by mahesh
November 29, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කරමින් දකුණු ගුජරාත් වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව තිබේ. දකුණු ගුජරාත් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ දස දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් අද (29) දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මේ නියෝජිත පිරිසේ සංචාරයේ අරමුණ වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ කර්මාන්ත සබඳතා ශක්තිමත් කිරීම වන අතර, මේ නියෝජිත පිරිස කොළඹ, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශයන්හි සංචාරය කරන බවද මහකොමසාරිස් කාර්යාලය කියයි. මේ නියෝජිත පිරිස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සමුද්‍රීය ක්ෂේත්‍රයේ වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය උදෙසා සංවිධාන කරන “Voyage Sri Lanka” වැඩසටහනට සහභාගි වූ අතර, එසේම ඔවුහු අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරින් මෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ සහ ඉන්දු ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ නිලධාරින් ද හමුවීමට නියමිතය. මේ නියෝජිත පිරිස කැපිටල් මහරාජා සමූහය වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් ද වෙනත් පාර්ශ්වකරුවන් ද හමුවීමට සැලසුම් කර තිබෙන අතර, මේ නියෝජිත පිරිසේ තවත් ප්‍රමුඛ කාර්යයක් වන්නේ 2025 ජනවාරි 25 – 27 දක්වා ගුජරාටයේ සුරාත්හි පැවැත්වීමට නියමිත ග්ලෝබල් විලේජ් 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ප්‍රවර්ධනය කිරීමයි. විවිධ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ සහයෝගීතාවන් ගොඩනඟා ගැනීම සඳහා නව මාවත් සොයාගැනීම සඳහා මෙය මාහැඟි වේදිකාවක් වනු ඇත. මේ සංචාරය ඉන්දියාව පුරා විහිදී තිබෙන ව්‍යාපාර මණ්ඩල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධ කිරීමට ගනු ලබන මුලපිරීම් මාලාවක පළමුවැන්න වන අතර, මෙය දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආයෝජන සහ අන්‍යෝන්‍ය වර්ධනය සහ සංවර්ධනය සඳහා දොරටු විවර කරන බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT