Sunday, April 20, 2025
Home » මුම්බායි ප්‍රහාරයෙන් දිවි අහිමිවූවෝ සැමරෙති

මුම්බායි ප්‍රහාරයෙන් දිවි අහිමිවූවෝ සැමරෙති

by mahesh
November 29, 2024 1:00 am 0 comment

වසර 2008 නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේදී දිවි අහිමිවූවන්ට ජාතියේ ප්‍රණාමය පුද කරන බව පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය ජනාධිපතිනිය ද්‍රව්පඩී මර්මු ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරයට වසර 16ක් ගතවීම නිමිත්තෙන් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය ජනාධිපතිනිය මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේදී ඉන්දීය භුමිය ආරක්ෂා කළ හමුදා සෙබළුන්ගේ නිර්භීතභාවය සහ ජිවිත පරිත්‍යාගය සිහිපත් කළ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරය සාර්ථකව මැඬ පැවැත්වීමට සිදු කළ මෙහෙයුමට ආරක්ෂක අංශ වෙත සිය ගෞරවය පිරිනමන බවත් ඉන්දීය ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මුම්බායි ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ගේ ධෛර්යසම්පන්න හා කැපකිරීම් සිහිපත් කරමින් එරට ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං සහ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා ද පණිවුඩ නිකුත් කර ඇති අතර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී ඉන්දීය රජයේ ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තියට ගෝලීය පිළිගැනීමක් ලැබී ඇතැයි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. මුමබායි ප්‍රහාරය මෙහෙයවූ පාකිස්තානයේ ලෂ්කරි ටයිබා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 9 දෙනකු ඉන්දීය ආරක්ෂක අංශයේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ අතර, දකුණු මුම්බායි නුවර ටාජ් මහල් පැලස් හෝටලය ඇතුළු ස්ථාන රැසක දින 4ක් පුරා සිදුවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එම ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් පුහුණු කිරීම සහ සැලසුම් කිරීම චෝදනාවට ලක් කරමින් අමෙරිකාව විසින් ඊට වසර දෙකකට පසුව කැනඩාවේ පදිංචිව සිටි පාකිස්තාන හමුදාවේ හිටපු වෛද්‍යවරයකු වූ ටහව්වුර් හුසේන් රානා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන වසර 13ක සිර දඬුවම් නියම කර තිබූ අතර, තමා ඉන්දියාවට භාර දීමට පසුගිය වසරේදි අමෙරිකානු අධිකරණයක් ගත් තීන්දුවට එරෙහිව ඔහු එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය පසුගියදා ප්‍රතික්ෂේප කර තිබිණි.

අමෙරිකානුවන් 6 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 166 දෙනකුට මරු කැඳවූ මුම්බායි ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ගේ පවුලේ සාමාජිකයන් හා ඥාතීන් පසුගියදා 16 වැනි සංවත්සරයේදී රට පුරා සැමරුම් උත්සව රැසක් පැවැත්වූ බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. එම ප්‍රහාරයේදී දිවි අහිමිවූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වීමට ඊට වගකිව යුතු සියලු පාර්ශ්ව නීතිය හමුවේ දඬුවම් ලැබිය යුතු බව වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයන් හා ඥාතීන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT