“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ නෑ කියලත් මතක තියාගන්න; එහෙනම් ඔයාව හපා කන්නේ වලිගෙ වනල” යැයි ඇනීටා පවසන්නී, මේ දුර්දාන්ත සමාජය, තමන් සතු සියලු නිසඟ හැකියාවන් භාවිත කරනුයේ, වංචනික කවයක් තුළ බව කියා පෑමටය. ඇනීටාගේ මේ දෙබස් අයත් වන විරාජනී තෙන්නකෝන්ගේ “කැමෙලියා” නවකතාව, පෙරදා සන්ධ්‍යාවේ වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.
අතට අසුවෙන හැම මාතෘකාවක්ම වටිනාකමේ ලාහෙන් මැනීම සඳහා මිනිස් මනස හුරු කළ විට, එය කිසිදු හර පද්ධතියක් තකන්නේ නැත. ආගම වන් සංස්ථාවක් වෙත පිටුපෑම සුළු දෙයකි. එතැන උගන්වන්නේ, තමන්ගේ සංවරභාවය ප්රමුඛ කර ගත් චර්යා පද්ධතියකි. එය පළමුව මඟහරින්නේ, වංචාව සඳහා එහි ලබාදී ඇති පලවිපාක අනාගත බිය ගෙන දෙන්නේ බැවිනි.
අනෙක් පසින් නෛතික පිළිවෙතය. මඟහැරීම සිදු කළ නොහැක්කේ බැවින් නීති රීති යටින් රිංගා යෑමේ ක්‍රමවේද බහුලය. දඬුවම් ලැබුවද යළි එළියට ආ කල, පරණ ක්රමයම අනුගමනය කරන්නේය. හැදෙන්නේ එහෙමත් අයෙකි. මිනිස් සන්තානය වංචාව සඳහා සුසර වූ විට, හැමදෙයකම මිලක් මිස වටිනාකමක් එයට නොදැනෙන්නේය.
මේ සඳහා සරල උදාහරණ දෙකක් පසුගිය සතියේ වාර්තා විය. එළඹෙන්නේ උත්සව සමය හෙයින් මේ රටේ මිනිස්සු හැසිරෙන්නේ ද නොකා නොබී, සායෙන් පීඩිතව, ගතවූ මාස එකොළහ ගත කළ පරිද්දෙනි. ජනේරුව සහ සිංහල අවුරුද්ද යන දෙක සඳහාම ඔය ආකාරයට හැසිරීම පොදු බවට පත්ව ඇත්තේය. මේ සමය ආසන්නයේ පාරට බැස්ස විට, ඇඳුම් පැලඳුම් සහ ආහාර පාන වෙනුවෙන් පොර අල්ලන ජනකාය දැකගත හැක්කේය. සාධාරණ ආකාරයෙන් මෙම වෙෙළඳපොළ සඳහා භාණ්ඩ සපයා, එම කාලයේදී ලාභ ලබාගන්නා වෙෙළඳ ප්‍රජාව සම්බන්ධයෙන් ගැටලුවක් නැත්තේය. එහෙත් මේ සමය පරණ බඩු අලුත් පැකින් හි බහා, රට්ටුන්ගේ ඇස් රවටන පිරිස් ද එමටය. අද කතාව වනුයේ කල් ඉකුත්වීමේ දිනය, කල් දමා, කෑම පිඟාන වෙත කුරක්කන් සහ කූනිස්සන් තොගයක් එවීම සඳහා දරනු ලැබූ උත්සාහයකි. 2024 ඔක්තෝබර් කල් ඉකුත්වීමේ දිනය ලෙස සටහන් වූ කූනිස්සන් තොගයක් වෙෙළඳපොළෙන් බැහැර කිරීම සඳහා කටයුතු යොදා තිබියදී, කාලයේ හැටියට එහෙම බඩු විසි කිරීම හොඳ නැති බැවින් ලේබලය වෙනස් කර යළි මාර්කට් එක වෙත යැවීම සඳහා 2026 ජූලි ලෙස දිනය වෙනස් කිරීම සඳහා කල්ලියක් කටයුතු කළහ. කූනිස්සන් කිලෝග්‍රෑම් පහේ බෑග් 195ක් සඳහා, මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටියදී පාරිභෝගික අධිකාරිය එම ගබඩාව වෙත පැන, බඩු තොගය අල්ලා ගත්තේය.
මේ ආකාරයට කල් පැනීම සඳහා ආසන්න වෙන විට, වෙනම ප්‍රයිස් එකක් යටතේ ඒවා වෙෙළඳපොළෙන් බැහැර කිරීම, විශාල කඩහිමියෝ සිදු කරන්නාහ. ඒ සඳහා වෙනම වෙෙළඳපොළක් වෙන්වී තිබේ. චිලි පේස්ට් සඳහා කූනිස්සෝ අවශ්‍ය හෙයින් අර ආකාරයේ තොග, අඩුවට රැගෙන එම මිශ්‍රණය සාදා නිමා කර, තවත් වසරක පමණ ඈත දිනයක් චිලි පේස්ට් සඳහා ලබාදිය හැකිය. කූනිස්සාගේ කාලය යළි වසරකට දික් කරන්නේ එහෙමය. තව ආකාරයක් වන්නේ යළි පැක් කිරීමය.
කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් ඇසුරුම් 740ක් ද මේ ආකාරයට කොටහේන ප්‍රදේශයේ අසුරමින් තිබියදී පාරිභෝගික අධිකාරිය වැටලීම නිසා අදාළ වෙළඳාම කල් ඉකුත්ව ගියේය.
බොහෝ ගම්හි, සුපිරි වෙෙළඳසල් ජාලයන්හි නමට සහ පෙනුමට සමාන කඩ රාශියක් දැක ගත හැකිය. අප දන්නා ප්‍රසිද්ධ ජාලය වැනිම වූ බාහිර පෙනුමක් එහි ඇත්තේය. බඩු පුදුමාකාර ලෙස ලාභ හෙයින්, ඒවායේ පාරිභෝගික ගැවසීම ද වැඩිය. කල් ඉකුත්වීම සඳහා ආසන්න බඩු මෙම සිල්ලර වෙෙළඳසල් වෙත ගාල් කිරීමේ ක්‍රමවේදයක් විශාල නිෂ්පාදකයෝ ඇති කර තිබේ. කල් ඉකුත්වීමට මාස තුනකට පමණ පෙර වෙෙළඳපොළෙන් ඒවා යළි ගෙන්වා ගෙන, නියමිත මිලෙන් භාගයකට වඩා අඩුවෙන් ඒවා තොග වෙළෙන්දා සඳහා ලබා දෙනු ලැබේ. ගමේ ඇති සුපිරි වෙෙළඳසල් බඳු කඩ සඳහා මේවා අලෙවි කරන වෙනම කණ්ඩායමක් ඇත. නැතිනම් කඩහිමියා විසින්ම මේ සඳහා වූ කණ්ඩායමක් යොදවා තිබේ. පැරණි කවරයේ කල් ඉකුත්වීමේ දිනය ආසන්න හෙයින්, ඒ සඳහා වූ දින මුද්‍රාවක් සකසා, අර දිනය වසා තව වසරකට අර භාණ්ඩයේ ජීව කාලය දික් කරනු ලැබේ. එසේ කරන ලද්දේ වුවද, බඩු නරක්වීමේ සම්භාවිතාව ඇති හෙයින් ගමේ කඩය සිදු කරන්නේ ඒ සඳහා සුවිශේෂ වට්ටම් පිරිනැමීමය. ලොරි ගාණට පටවා විනාශ කළ යුතු දේ වහා ආමාශගත වන්නේ මෙම යන්ත්‍රණය මඟිනි.
ලබන පාඩුව ද අඩුය; විනාශ කිරීම සඳහා යන මුදල ද ඉතිරිය යන ගොඩයෑමේ ක්‍රම දෙකම මේ සඳහා ඇතුළත් බැවින් දැන් සමහරු කරන්නේ පිටරටවල ඇති කල් පැනීමට ආසන්න බඩු තොග පිටින් අඩුවට මෙහෙට ගෙන්වා ගැනීමය. අමුල් නාමය යටතේ එවැනි හාල් තොගයක් ගෙන්වා ගෙන අලුත් පැකින් යෙදීම සඳහා ගිය වෙළෙන්දෙක් පාරිභෝගික අධිකාරිය අල්ලා ගත්තේය.
අසුරනයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින්, උත්සව සමයේදී වෙෙළඳපොළට යොමු කිරීම සඳහා, කල් ඉකුත් වූ ආනයනික සහල් කිලෝ 17,925ක් ගෙන්වූ හෙතෙම අධිකරණයේදී වරද පිළිගත්තේය.
කිලෝ 25ක් බරැති සහල් මිටි 717ක් මේ ආකාරයට දින මාරු කර ජනතාවගේ බත්පත සඳහා සැපයීමට හෙතෙම උත්සාහ කර තිබුණි. ඒ සා වරදක් කර, ඔහුට ලැබුණු දඬුවම රුපියල් ලක්ෂයක දඩයක් පමණය.
මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සමඟය. මේ ආකාරයට හසුවෙන වෙළඳුන් අදාළ සහල් තොගය උයා පිහා, ඔහුට කෑම සඳහා තුන් වේලටම ලබාදී, තොගය ඉවර වෙන කාලය තෙක් සිරගත කළ යුතු බව මේ තීරුවේ අදහසය. වැඩේ පාරිභෝගික අධිකාරියටම පවරා අප පැත්තකට වී සිටිය යුතු නැත. ඔය ආකාරයේ බඩු භාණ්ඩ හඳුනාගෙන ඒ ගැන සොයා බැලීමේ කල්පනාවක් අපට ද ඇත්තේ බැවින්, වැඩේ සඳහා අපද වෙහෙස මහන්සි විය යුතුය.