පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (28) වන විට අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 8ක්, බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය, වවුනියාව දිස්ත්‍රික්කවලින් මරණ 1 බැගින් පුද්ගල මරණ 12ක් වාර්තා වී තිබේ.
මේ අතර විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇති අතර, එක් අතුරුදන් වීමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්ක 24ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 227ක පවුල් 120,534ක පුද්ගලයන් 401,707ක් අයහපත් කාලගුණික තත්ත්වය මත දැඩි පීඩාවට පත්ව ඇති අතර පවුල් 11,663ක පුද්ගලයන් 36,330ක් ආරක්ෂිත ස්ථාන 345ක රඳවා තිබේ.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) පෙ.ව 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කි.මී 130ක් පමණ ඊසාන සහ මුලතිව් සිට කි.මී 150ක් පමණ නැඟෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එය දිවයිනේ නැඟෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර එය තවදුරටත් වර්ධනය වීමට හැකියාවක් ඇති බවත් අද (29) දිනෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇති බවට බලාපොරොත්තු වන බවත් දෙපාර්තමේන්තුව කියයි.
මේ වන විට දැදුරුඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදන නිකුත් කර තිබේ. මහවැලි ගං ද්‍රෝණිය, මුන්දෙණි ආරු ද්‍රෝණිය, හැඩඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබේ.
බණ්ඩාරවෙල, කාරතිව්, අම්පාර නගරය, දංකොටුව, කුච්චවේලි, වවුනියා දකුණ ස්ථානවල මෙම මරණ සිදුවී ඇත. බැම්මක් කඩා වැටීම, ට්‍රැක්ටර් රථයක් මාවඩි පාලම අසලදී පෙරළී යෑම, ගඩොල් වාඩියක් පරීක්ෂා කිරීමට යෑමේදී, මාවතගම කර්මාන්තපුරය අසල ජයින්දිය ෆැක්ටරිය ඉදිරිපිට කානුව තුළට වැටීම, යාන්ඔය ගඟේ මාළු ඇල්ලීමට ගොස් බෝට්ටුවක් පෙරළී යෑම, මහකච්චාකොඩිය වැව වාන් දැමීම නැරඹීමට යෑම ආදි හේතු නිසා මේ මරණ 12 සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වීම් 1ක් වාර්තා වී තිබේ. පූර්ණ නිවාස හානි 102ක්, අර්ධ නිවාස හානි 1952ක් වාර්තා වේ. ඥාති නිවාසවල පවුල් 28,324ක පුද්ගලයන් 94,134ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (28) පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චි, රත්නපුර, ගාල්ල, ත්‍රිකුණාමලය, බදුල්ල, මොනරාගල, මුලතිව්, නුවරඑළිය, අනුරාධපුර, මඩකලපුව, මාතර, මාතලේ, අම්පාර, වවුනියා, කුරුණෑගල, කළුතර, ගම්පහ, පොලොන්නරුව, නුවර, කොළඹ දිස්ත්‍රික්කවල ජනතාව තද සුළං, ජල ගැලීම්, වැසි, ගස් හා කණ්ඩි කඩාවැටීම්, ගංවතුර අවදානම ආදි අයහපත් කාලගුණයෙන් මෙසේ පීඩාවට පත්වී සිටී.
ඊයේ (28) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 150.3ක් ලෙස ඇල්කඩුව ප්‍රදේශයට ලැබී තිබිණි. කාසල්රී, නෝටන්, මාඋස්සාකැලේ, කැනියන්, ලක්ෂපාන, ඉහළ කොත්මලේ, වික්ටෝරියා විදුලිබලාගාර ජලාශවලට ද වැසි ලැබී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරණු ලබන ප්‍රධාන ජලාශ 73න් 36ක් ඊයේ (28) පස්වරුව වන විට වාන් දමමින් පැවැතිණි. මධ්‍ය පරිමාණ ජලාශ 171න් 25ක් පමණ වාන් දමමින් පැවැතිණි. දැදුරුඔය ජලාශයේ, වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, රස්නායකපුර ප්‍රාදේශීය කොට්ඨාසවලට අයත් පහත්බිම්වල ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් බවත් අනෙකුත් අධික ජල ගලනය ඇති ගංගා අවට ජනතාව ද සැලකිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තවමත් පවතී.