මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරවලට සාපේක්ෂව 2023 හා 2024 යන වර්ෂ දෙක තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය පැවසුවාය. වර්ෂ 2021 හා 2022 තුළදී එච්.අයි.වී. නව ආසාදිතයන් මෙරටින් වාර්තා වූයේ 200ක් – 300ක් වැනි පිරිසක් බවත් පසුගිය වර්ෂයේදී එම සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
පිරිමි පුද්ගලයන් අතර මෙම වයිරසය ශරීරගත වීම ඉහළ බවත් පිරිමි පුද්ගලයන් 7කට වයිරසය ආසාදනය වී ඇති විට කාන්තාවන් එක් අයකුට වයිරසය ශරීරගතව ඇති බවට වාර්තා වී ඇති අතර ඒ අනුව වයිරසය ශරීරගත වීම කාන්තා පිරිමි අනුපාතය 7:1 බවත් ඇය පැවසුවාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (27) පැවසුවාය. දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව පැවැති අතර “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු“ තේමාව මෙවර යොදා ඇත.
එච්.අයි.වී. සමඟ ජීවත් වන්නන් 3500ක් පමණ රෝහල් පද්ධතිය තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට ලියාපදිංචිව සිටින බවත් මෙම වයිරසය පාලනය සඳහා ප්‍රතිකාර තිබෙන නිසා කිසියම් අයකු සැක සහිත ලිංගික කටයුත්තක නිරත වූයේ නම් රුධිර පරීක්ෂාවකට ලක්ව වයිරසය ශරීරගතව ඇතැයි ද නැද්ද යන්න තහවුරු කරගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම වයිරසය ශරීරගත වූවන් අතරින් සියයට 88ක් පිරිමි පුද්ගලයන් වන අතර පිරිමි – පිරිමි අතර සිදු වන ලිංගික කටයුතු මෙම ඉහළ යෑමට හේතු වී ඇතැයි ද ඒ මහත්මිය පැවසුවාය.
වසරකට රුධිර සාම්පල මිලියනයකට වඩා පරීක්ෂාවට ලක් කරන අතර ඉන් සාම්පල් ලක්ෂ හතරක් පමණ එච්.අයි.වී. පරීක්ෂාවට ලක් කරන බවත් පසුගිය වසරේ සිදු කළ එවැනි පරීක්ෂණවලින් එච්.අයි.වී. ආසාදිත සාම්පල වාර්තා වූයේ 56ක් පමණක් බවත් ඇය කියා සිටියාය.
රට පුරා ලිංගාශ්‍රිත සායන 40ක් ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ඇති බවත් ඉන් 32කම විශේෂඥ වෛද්‍යවරුන් සිටින අතර රට තුළ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සායන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.