ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින්න
අවතැන් ජනතාවගෙන් පොලීසිය ඉල්ලයි
දරුවන්ට වැසි ජලයේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්න එපා
ජලයෙන් යටවී ඇති නිවෙස්වල ඇති දේපොළ සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් මෙන්ම ඩ්‍රෝන කැමරා යොදවා ඇති බැවින් මේ වන විට රැඳී සිටින ආරක්ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස අවතැන්ව සිටින ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.
දරුවන් වැසි ජලයේ ක්‍රීඩා කිරීමෙන් සිදු වන අනතුරු වැළැක්වීමට මව්පියන් සහ වැඩිහිටියන් ක්‍රියා කරන්නැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කරයි. අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහාය ලබා ගැනීමට දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන්ද 107 විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඊයේ (27) උදෑසන පැවති මාධ්‍ය කොට්ඨාසයේ පැවැති හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා මෙසේද පැවැසීය.
කෙසෙල් වගේ දේවල්වලින් පාරු හදාගෙන ළමයි ජලයේ ක්‍රීඩා කරනවා. මේවා සම්බන්ධයෙන් මව්පියන් වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුයි. මේවාට අවස්ථාව දෙන්න එපා. බොහෝ වෙලාවට ඒ තුළ අනතුරු සිදුවීම් වැඩියි. දරුවන්ට අවදානම් ස්ථානවල සෙල්ලම් කරන්න, පීනන්න ඉඩ දෙන්න එපා. වැඩිහිටියන් අවධානයෙන් සිටින්න.
ඔබගේ නිවෙස් යම් ආකාරයකට ආපදාවකට ලක්ව තිබෙනවා නම් ජලයෙන් යටවී තිබෙනවා නම් ඒ ආරක්ෂිත ස්ථානවල කඳවුරු ස්ථාපිත කර තිබෙනවා. ඒ කඳවුරුවලට පොලිසියෙන් අවශ්‍ය ආරක්ෂාවත් ලබා දී තිබෙනවා. ඒ ස්ථානවලට යන්න. අපි නිවෙස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඩ්‍රෝන කැමරා භාවිතයෙන් පරීක්ෂා කරනවා. නිවෙස්වල යම් සොර සතුරු අවස්ථා ඇතිවීම සම්බන්ධයෙන් ගුවනින් නිරීක්ෂණය කරනවා.
මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාවයි. මධ්‍යම කඳුකරයේ රතු නිවේදන තිබෙන තැන්වලින් කරුණාකර ඉවත් වෙන්න. කඳුකරයේ විශාල තෙතමනයක් තිබෙනවා. අවදානම් කියන ප්‍රදේශවලින් ඉවත් වෙන්න. කඳුකර ප්‍රදේශවල යන වාහන පාර අයිනට ගන්න එපා. මාර්ගයේ වාහන ධාවනයේදී ඉස්සර කිරීමේ දී බස්රථ රියැදුරන් අවධානය යොමු කරන්න.
මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙනවා. මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීමට රතු නිවේදන නිකුත් කර තිබෙනවා යම්කිසි ආකාරයකට කඳු නායයෑම් තිබෙන නිසා.
ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රදේශවල නායයෑමේ අවදානමක් තිබෙන නිසා එයින් ඉවත් වෙන්න.
මාර්ග ජලයෙන් යටවී ඇත්නම්, මාර්ගය පැහැදිලි නැත්නම් මාර්ග හරහා ගමන් කරන්න එපා. අනපේක්ෂිත ආකාරයට වළවල් වගේ දේවල්, මාර්ගය ගිලා බැසීමක්, වෙනත් අනතුරු තිබෙන්න පුළුවන්, මාර්ගයේ කොටස් කැඩී ගොස් තිබෙන්න පුළුවන්. ඒ නිසා ජලයෙන් යටවී ඇති මාර්ග පැහැදිලි නැත්නම් ගමන් කරන්න එපා.
ජලයේ පාවී එන විවිධ දේවල් ගන්න බොහෝ අය ජලයට පැන මිය ගිය අවස්ථා බොහෝ වාර්තා වෙනාවා. එවැනි දේවල් ගැනීමට කටයුතු කරන්න එපා. නිවෙස්වල තිබෙන විවිධ දේවල් ජලයේ ගසාගෙන යන්න ඉඩ තිබෙනවා. එවැනි දේවල් ගන්න උත්සාහ කරන්න එපා. සමහර විට ඔබගේ ජීවිතය ඒ තුළම අහිමි වෙන්න පුළුවන්.