රුපියල් තුන් ලක්ෂ පනස්දහකට අධික මුදලක් සැක සහිත ලෙස බැංකු ගිණුමකට බැර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්රාත් අධිකරණය මඟින් සැකකරුවකු බවට පත් කළ පුද්ගලයකුගෙන් ප්රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම වීරසිංහ මහත්මිය ඊයේ (27) මරදාන පොලීසියට නියෝග කළාය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්රකාශ කර සිටියේ තම සේවාදායකයා අන්තර්ජාලයේ ඇති රැකියා දෙන දැන්වීමක් දැක ඇති බවත්, එහි ඇති සබැඳිය මඟින් එම දැන්වීමේ තම පෞද්ගලික විස්තර පිරවීමට ඇති වෙබ් අඩවියකට ගිය බවත්ය. ඉන් පසු තම සේවාදායකයා විසින් තම බැංකු ගිණුම් වාර්තා සම්බන්ධයෙන් අසා ඇති තොරතුරු එම වෙබ් අඩවියට සපයා ඇති බවත්, ඊට පසු දින ඔහුගේ බැංකු ගිණුමට රුපියල් තුන් ලක්ෂ පනස් දාහක මුදලක් බැර වී ඇති බව දැක ඇති බවත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ප්රකාශ කළේය. ඉන් පසු මේ මුදල සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඉකුත් ඔක්තෝබර් 22 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැන්වූ බවද, තම බැංකු ගිණුමට බැර වූ මුදල් තම පෞද්ගලික පරිහරණය සඳහා භාවිත නොකළ බවද සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්රකාශ කළේය.