හිඟ බදු මුදල් 30 වැනිදාට පෙර ගෙවීමට කටයුතු නොකරන්නේ නම් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන නියෝගයක් දෙන ලෙස ඉල්ලා ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් දෙසැම්බර් 4 දා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (27) තීරණය කළේය.
සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම් කැඳවූ අවස්ථාවේ මේ බව තීරණය කරණ ලදි. එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය. පෙත්සම්කාර සමාගම වෙත බලපත්‍ර 10ක් නිකුත් කර තිබෙන අතර, ඉන් බලපත් කිහිපයකට අදාළ බදු මුදල් මේ වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය සතු රු.බි. 12ක් පමණ වටිනා වත්කම් සහ මුදල් මහ බැංකුව විසින් මේ වන විට තහනමට ලක් කර ඇති බවද, එ් සමාගම ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ සහෝදර සමාගමක් වන බවද සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා තහනම් කර ඇති ඒ සමාගමේ මුදල්වලින් පෙත්සම්කාර සමාගම විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් පියවාගත හැකි බවද පෙන්වා දුන්නේය.