Home » ලොව බලවතුන්ගේ සාමකාමී ප්‍රතිඥාව නව ලෝකයකට පහන් එළියක්

ලොව බලවතුන්ගේ සාමකාමී ප්‍රතිඥාව නව ලෝකයකට පහන් එළියක්

by chanaka
November 28, 2024 7:19 am 0 comment

ලොව ආර්ථික බලවතුන් දෙදෙනාගේ හමුව පසුගිය සතිය තුළ දේශපාලන වේදිකාවේ උණුසුම් ලෙස සංවාදයට යොමුව තිබේ. වසරකට පසුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පේරු රාජ්‍යයේ දී මුණ ගැසිණ.

නිදහස් වෙළඳ වේදිකාවක්, ඒකපාර්ශ්වික ආරක්ෂණවාදයෙන් තොර බහුපාර්ශ්වීය වෙළඳපොලක් ගොඩනැඟීම සමස්ථ ලෝකයේම යහපතට හේතු වෙනවා ඇත. නමුත් චීනය සහ ඇමරිකාව අතර පවතින සීතල යුද තත්ත්වයට හේතුව දිගින් දිගටම ඇමරිකාව විසින් චීනයට සාකච්ඡාවේ දී හොඳ හිත පෙන්වා ක්‍රියාවේ දී හැකි තරම් පිීඩාවට පත් කිරීමේ ක්‍රමය බව පෙනෙන්නට තිබේ.

චීනය ගැටුමකට යොමු විය හැකි ආකාරයට අභ්‍යන්තර ගැටළු කෙරෙහි අනවශ්‍ය මැදිහත්වීම් කරමින්, විවිධ චෝදනා සහ වෙළඳ බාධක ගෙන එන පසුබිමක පවා තවදුරටත් දෙරටේ සාමකාමී ප්‍රවේශය සඳහා චීන ජනාධිපතිවරයා අවංක උත්සාහයක නිරත වනු දක්නට හැකිය.

මෙවර පේරු හි පැවති රාජ්‍ය නායකයන්ගේ හමුව වැදගත් වන්නේ පවතින මතභේද දුරලීම වෙනුවෙන් විවෘත සංවාදයක නිරත වීම හේතුවෙනි. සංවාදය අඛණ්ඩව පවත්වා ගෙන, සහයෝගීතාව පුළුල් කොට මතභේද පාලනය කිරීමට ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනපතිවරයා එහි දී අවධාරණය කර ඇත. ඔහු ඉදිරිපත් කර ඇති අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගතාව යන මූලධර්ම මත පිහිටා ඇමරිකානු මතය මෙහයෙවීමට රාජ්‍ය නායකත්වය පියවර ගත යුතුව තිබේ.

රටවල් දෙකක්, න්‍යායපත්‍රයන් දෙකක් පැවතිය ද එකිනෙකා පොදු වේදිකාවක කටයුතු කිරීමේ දී සාමූහික එකඟතාවන්ට පිවිසිය යුතු වේ. චීනය කිසිවිටෙකත් ඇමරිකාවක් හෝ ඇමරිකාව චීනයක් විය යුතුය යන්න මෙයින් අපේක්ෂා නොකරයි. වෙනස්කම් අවබෝධ කරගනිමින් එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් තිරසර මාවතක් ඔස්සේ සබඳතා ගොඩනඟා ගැනීම ගෝලීය අවශ්‍යතාවයක් ලෙස හඳුන්වා දිය හැකිය. මන් ද ඇමරිකාව හෝ චීනය යනු හුදෙක් හුදෙකලා රටවල් දෙකක් ලෙස නොගෙන සමස්ථ ලෝකයටම බලපෑම් කළ හැකි ලෝක ප්‍රගමනයට මෙන්ම ගොඩනැගෙන රටවලට සහාය විය හැකි ආදර්ශමත් බලවතුන් දෙදෙනෙකු ලෙස ඉදිරිය ගොඩනැංවිය යුතුව තිබේ. මේ මහා පෘථිවිය තුළ අවශ්‍ය තරම් සංවර්ධනය වීමට අවකාශය ඇති බවත්, ඒ වෙනුවෙන් අනෙකා පාලනය කිරීම නොකළ යුතු බවත් තේරුම් ගත යුතුව ඇත.

රාජ්‍ය නායක හමුවේ දී චීන ජනාධිපතිවරයා පැවසුවේ චීනය තරගකරුවෙකු ලෙස නොසලකා, එකම චීනය මූලධර්මයට අනුගත වෙමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන ක්‍රියාවට නැංවිය යුතු බවයි. කිසිඳු ක්‍රමයකින් චීනය පාලනය කිරීමට නොසිතිය යුතු බවත්, සීමා කිරීමට හෝ මර්දනය කිරීමට දරන ඕනෑම උත්සාහක් චීනය ස්ව ශක්තියෙන් පරාජය කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. ලොව විශාල වෙනසක් කිරීමට චීනයට හා ඇමරිකාවට ඇති හැකියාව යළි සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා ඇමරිකානු නායකයා වෙත සාම මාවතට, සහයෝගයේ දෑත දිගු කර තිබේ.

මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ද යහපත් ප්‍රතිචාරයක් පළ විය. චීනය සමග “නව සීතල යුද්ධයක්” නොසොයන අතර චීනයේ “තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට” සහාය නොදැක්වීමේ ඇමරිකානුදේශපාලන පොරොන්දුව ජනාධිපති ජෝ බයිඩන් මහතා යලි අවධාරණය කර ඇත. නමුත් මේ ගත වෙමින් පවතින්නේ ඇමරිකානු දේශපාලනයේ සංක්‍රාන්ති සමයකි. නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්ව ඇත. නව ජනපතිට සුබ පතමින් චීන නායකයා එක්ව ගමන් කරමින් දෙරට අතර සංවාදය සහ සන්නිවේදනය ශක්තිමත් කරන ලෙසත්, දෙරට වෙනස්කම් කළමණාකරණය කර ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගතාව පුළුල් කර ගැනීමට එක් වන ලෙසත් ඉල්ලා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමයේ චීනය වෙත එල්ල වූ පීඩනය ලොව ආර්ථිකයට සෘජුවම බලපෑවේය. තීරුබදු යුද්ධය, වෙළඳ යුද්ධය, තාක්ෂණික යුද්ධය හා කාර්මික යුද්ධයෙන් කිසිඳු ජයග්‍රාහකයෙකු බිහි නොවන බව තේරුම් ගැනීම අවශ්‍ය වේ. දැනට පවතින යුද තත්ත්වය පාලනය කරනවා සේම චීනය සමග ඇති සීතල යුද්ධය අවසන් කොට නව නායකත්වය නව ප්‍රවේශයකට යොමු වෙමින්, නව ලෝකයකට, නව ප්‍රතිපත්තීන් සමග පැමිණිය යුතුව තිබේ. චීනය ඇමරිකාව සම්බන්ධයෙන් ස්ථාවර ප්‍රතිපත්තියක එල්බ සිටිනවා සේම දෙරට රාජ්‍ය නායකයින් පොරොන්දු වී ඇති පරිදි එකඟතාවන් ක්‍රියාවට නැංවිය යුතු අතර දෙරට ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් බව ප්‍රත්‍යක්ෂ කරමින් පරිනත දේශපාලන ක්‍රමවේදයකට ඇමරිකාව යොමු වනු ඇතැයි සාමයට සහ සංවර්ධනයට කැමති සියලු දෙනා අපේක්ෂා කරන බව කිව යුතුව ඇත.

නිතිඥ සංඛ ප්‍රබුද්ධ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT