Home » එඩිතර යකඩ සොල්දාදුවා

එඩිතර යකඩ සොල්දාදුවා

by Gayan Abeykoon
November 28, 2024 1:02 am 0 comment

 

(Translation of the fairy tale ‘ The Steadfast Tin Soldier’ by Hans Christian Anderson)

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

 

එක්තරා කාලයකදී යකඩ සොල්දාදුවෝ විසිපස් දෙනෙක් සිටියා. මේ හැමදෙනාම  තනා තිබුණේ එකම යකඩ හැන්ද උණු කර නිසා මේ අය සහෝදරයන්.  ඔවුන්  හැම කෙනෙක්ම තම බයිනෙත්තු උර මත තබාගෙන  සීරුවෙන්  ඉදිරිය  බලා  සිටියා. රත් පැහැයෙන් සහ නිල් පැහැයෙන්  යුතු වූ  ඔවුන්ගේ නිල  ඇඳුම්  දැකුම්කලුව දිලිසුණා.  ඔවුන්  සිටි පෙට්ටිය  විවර කෙරුණු  විට ඔවුන්ට  මේ  ලෝකයේ පළමු වරට ඔවුන්ට අසන්නට  ලැබුණු  වදන් පෙළ  “යකඩ  සොල්දාදුවෝ!”  යන්නයි. මෙසේ කීවේ සතුටින් ඉපිලෙමින්,  අත්පුඩි  ගසමින්  සිටි කුඩා පිරිමි දරුවෙක්. මේ සොල්දාදුවන්  රැස  ඔහුගේ උපන්දිනය  වෙනුවෙන් තෑගි ලැබී තිබුණු අතර ඔහු ඉනික්බිති ඔවුන්ව  මේසය  මත  පෙළගැස්වූවා.

මේ සොල්දාදුවන් එකෙක් හැර අන් සියලු දෙනාම එක වැනිවම පෙනුණා.  එහෙත්  එක් සොල්දාදුවෙකුට තිබුණේ එක පාදයක් පමණයි. මේ සොල්දාදුවන් තනද්දී ඔහුව තනා  තිබුණේ අන්තිමටම  වූ අතර ඔහුගේ පාදය තනන්නට යකඩ  ප්‍රමාණවත්ව තිබී නැහැ. නමුත් ඔහුත්, දෙපයක් තිබුණු ඔහුගේ සහෝදරයන් මෙන්ම ඉතා සීරුවෙන් සිටියා. අපූරු ඉරණමක් උරුම වූ තිබුණේ මොහුටයි.

මේ සොල්දාදුවන් තබා තිබුණු මේසය මත තවත් සෙල්ලම් බඩු රැසක් දක්නට  තිබුණා. නමුත් මේ අතරින් වඩාත්ම කැපී පෙනුණේ කඩදාසි මාලිගාවයි.  එහි  කුඩා  කවුළු තුළින් එහි අමුත්තන්ගේ ශාලාව පැහැදිලිව  පෙනුණා.  මාලිගාව  ඉදිරිපස  පොකුණක් සේ දිස්වන්නට කැඩපතක් තබා තිබුණු  අතර ඒ වටා  කුඩා ගස්  පෙළක්ද තිබුණා. ඉටියෙන් තැනූ හංසයන් මේ පොකුණ මත පිහිනද්දී ඔවුන්ගේ ඡායාව කැඩපතෙන් පිළිබිඹු වුණා.

මේ සියලු දේ ඉතා අලංකාර වූවත් ඒ අතරින් වඩාත්ම අලංකාර වූයේ මාලිගාවේ  විවර දොර අසල සිටි යුවතියයි. ඈ ද කඩදාසියෙන් නිමවී තිබුණත් ඈ  ඉතා  දුහුල්  රෙද්දකින් මැසූ  ගවුමක්  හැඳ  සිටියා.  ඇගේ උරහිස් වටා සාළුවක් ලෙසින්  නිල් පැහැති පීත්ත පටියක් රඳවා තිබුණු අතර එය මැදින්  දිලිසෙන සරුව  පිත්තල රෝස මලක් අමුණා තිබුණා. ඈ නැටුම්කාරියක් නිසා ඇගේ දෑතම එසවී  තිබුණා. ඇගේ එක් පාදයක් ද  බෙහෙවින්  එසවී තිබුණු  අතර සොල්දාදුවාට  එය නොපෙනුණු නිසා  ඇයට ද  ඔහුට  මෙන්ම  එක් පාදයක්  පමණක්  ඇතැයි  ඔහු සිතුවා.

“ඈ තමයි මට ගැළපෙනම බිරිඳ,” ඔහු කල්පනා කළා . “නමුත් ඇගෙන් පෙනෙන්නේ බොහොම උසස් බවක්. අනික ඈ වෙසෙන්නේ මාලිගාවක. මට නම් තියෙන්නේ ලී පෙට්ටියක් විතරයි, අපි විසිපස් දෙනාම ඉන්නේ ඒක ඇතුළේ.  ඈ වගේ වැදගත් තරුණියකට ගැළපෙන තැනක් නෙමෙයි ඒක.  ඒත්  මම  කැමතියි ඈව අඳුනාගන්න.”

මේ මේසය මත දුම් කුඩු පෙට්ටියක්  තිබුණා.  තමන් එය  පසුපසින් සැඟවුණහොත්  කිසිවෙක්ට නොපෙනෙන්න ඉතා සීරුවෙන්, නොවැටී තනි කකුලෙන් සිටගෙන  සිටින මේ සියුමැලි තරුණිය නරඹන්නට හැකි බව ඔහුට වැටහුණා.

හවස් වෙද්දී ඔහු හැර අන් සියලුම යකඩ සොල්දාදුවන්ව ඔවුන්ගේ පෙට්ටියේ  තැන්පත් කෙරුණු අතර නිවැසියන් නින්දට ගියා. මේ, සෙල්ලම් බඩු සෙල්ලම්  කරන්නට ගන්නා වේලාවයි. ඔවුන් එකිනෙකා බලන්නට  නෑගම් යමින්,  සටන් කරමින්, සාද පවත්වමින් සතුටු වුණා. පෙට්ටිය තුළ සිටි යකඩ සොල්දාදුවන් පෙට්ටිය සොලවමින් දැඟලුවේ ඉන් පිටතට පැමිණ අන්  අයට  එක්වීමටයි. නමුත්  ඔවුන්ට එහි පියඔසවා ගන්නට හැකි වූයේ  නැහැ. බෝනික්කන්  පිනුම්  ගසමින්  සිටි අතර පැන්සල විසිළු ආකාරයකට උඩ පනිමින් සිටියා. මොවුන් කොයිතරම් ශබ්දයක් නැඟුවාදයත් නිදා සිටි කැනරි කුරුල්ලා අවදිව කවි හවස් වෙද්දී ඔහු හැර අන් සියලුම යකඩ සොල්දාදුවන්ව ඔවුන්ගේ පෙට්ටියේ තැන්පත් කෙරුණු අතර  නිවැසියන් නින්දට ගියා. මේ, සෙල්ලම් බඩු සෙල්ලම් කරන්නට ගන්නා වේලාවයි.

ඔවුන් එකිනෙකා බලන්නට නෑගම් යමින්, සටන් කරමින්,  සාද පවත්වමින්  සතුටු වුණා. පෙට්ටිය තුළ සිටි යකඩ සොල්දාදුවන් පෙට්ටිය සොලවමින් දැඟලුවේ ඉන්  පිටතට  පැමිණ  අන්  අයට  එක්වීමටයි.  නමුත්  ඔවුන්ට  එහි පියන ඔසවාගන්නට හැකි වූයේ නැහැ. බෝනික්කන් පිනුම් ගසමින් සිටි අතර පැන්සල විසුළු ආකාරයකට උඩ පනිමින් සිටියා.

මොවුන් කොයිතරම් ශබ්දයක් නැඟුවාද  යත්  නිදා  සිටි  කැනරි  කුරුල්ලා  අවදිව  කවි පද ගායනා  කරන්න  වුණා. තමන් සිටි තැන්වලින් නොසෙල්වී සිටියේ යකඩ සොල්දාදුවාත්  නටන  තරුණියත් පමණයි.  ඈ  පයේ  ඇඟිලි  තුඩු  මතින් සිටගෙන  දෑත් දිගුකරගෙන සිටි අතර ඔහුද එලෙසම දැඩි උත්සාහයෙන්  එක්  පයකින්  සිටගෙන  සිටියේ  ඇය  වෙතින්  දෑස  ඉවත් නොකරගෙනමයි.

රාත්‍රී දොළහ එළඹුණු විටම මහා හඬක් නඟමින් දුම් කුඩු පෙට්ටියේ පියන  විවර වූවා. ඇත්තටම  නම්  එය  දුම් කුඩු  පෙට්ටියක්  නොවෙයි.  එහි සිටියේ  කුඩා  කළු  බියකරු මිනිසෙක් පමණයි.

“යකඩ සොල්දාදුවා,” ඔහු කීවා, “තමන්ගේ දෑස තමන් ළඟ තියාගන්න. තමන්ට  අදාළ  නැති දේවල් දිහා බලන්න එපා!”

 

යකඩ සොල්දාදුවා මෙය නෑසුණු ලෙසින් සිටියා.

 

“හරි එහෙනම්, හෙට බලාගමු,” පෙට්ටියෙන් ආ මිනිසා කීවා.

පසුදා උදෑසන නි‍ෙවසේ දරුවන් අවදි වෙද්දී යකඩ සොල්දාදුවා සිටියේ ජනෙල්  පඩිය මතයි. හරියටම වරද කුඩා මිනිසාගේ ද සුළඟේ ද යන්න පැහැදිලි නැතත්  හදිසියේ හැමූ සුළං රැල්ලක් නිසා කවුළුව එක්වරම විවර වූ අතර සොල්දාදුවා  තුන්වෙනි මහලෙන් පහත වීදිය වෙතට වැටුණා. ඔහු වැටුණේ හිස පහළට  සිටින ලෙසයි. වැටෙන අතරමඟදී කීපවරක්ම කරණම් ගැසූ ඔහු අවසානයේදී  බිම රැඳුණේහිසත් බයිනේත්තුවත් මාවතේ ගල් පතුරු අතර සිරවෙන ලෙසත් ඔහුගේ එකම පාදය ඉහළට මතුවෙන ලෙසත්ය.

මෙහෙකාරියත් නි‍ෙවසේ කුඩා දරුවාත් ඔහුව සොයන්නට පැමිණි විට ඔහුව  ඔවුන්ට පෑගෙන්නට  ගියත්  ඔවුන්  ඔහුව  දුටුවේ  නැහැ.  සොල්දාදුවා  එක්  වරක්  හෝ “මම මෙහේ” කියා කෑගැසුවානම් ඔවුන්ට පහසුවෙන්ම එය ඇසෙන්නට තිබුණා. නමුත් නිල ඇඳුමෙන් සිටින  වේලාවකදී  එසේ  උදවු  ඉල්ලා  කෑගැසීම  තරම්  නොවේ යැයි ඔහුට සිතුණා.

නොබෝ වෙලාවකින් වැස්සක් ඇද හැලුණා. ක්‍රම ක්‍රමයෙන් වැසි දිය වේගයෙන් වැටෙන්නට වූ අතර ඉක්මනින්ම එය මහා වැස්සක් බවට පත් වුණා. වැස්ස  නැවතුණු පසු එතැනින් යන්නට ආවේ තක්කඩි කොලුවන් දෙදෙනෙක්.

“මේ බලන්න,” ඉන් එකෙක් කීවා. “මෙන්න ඉන්නවා යකඩ සොල්දාදුවෙක්.  අපි එයාව නැව් නග්ගමු.”

ඔවුන් පත්තර කඩදාසියකින් බෝට්ටුවක් තනා, සොල්දාදුවාව එහි මැද්දේ තබා  කානුවේ එය පාකර යැව්වා. බෝට්ටුව වේගයෙන් ඇදීයද්දී කොලුවන් දෙදෙනා අත්පොලසන් ගසමින් කානුව අසලින් දිව ගියා. දෙවියනේ, කානුවේ වතුර රැලි නැඟුණු තරම්! ඒ වතුර ගලා ගිය ඉක්මන! මීට හේතුවුණේ ඊට සුළු වෙලාවකට කලින්  වැටුණු මහා වැස්සයි. කඩදාසි බෝට්ටුව වැරෙන් සෙලවෙමින්, උස් පහත් වෙමින් ඇදී ගියා. සමහර වේලාවට එය කෙතරම් කැරකුණා ද කියනවානම් සොල්දාදුවාට  ක්ලාන්ත ගතියක් දැනෙන්නට වුණා. නමුත් ඔහු පෙරසේම සීරුවෙන්ම පසු වුණා. බිඳක් වත් නොසෙල්වී, ඉදිරියම බලා සිටි ඔහු තවමත් උරහිස මත තුවක්කුව  තබාගෙන සිටියා. එක්වරම කානුව ලෑල්ලකින්  වැසුණු  තැනක්  ඔස්සේ  බෝට්ටුව  ගමන්  කළා. හාත්පස තිබුණේ සොල්දාදුවාගේ ලී පෙට්ටියේ තරම්ම අඳුරක්.

“කොහෙද මම මේ යන්නේ?” සොල්දාදුවා කල්පනා කළා. මේක අර අද්භූත මිනිහා  මගෙන් පළිගන්න කළ දෙයක් වෙන්න ඕන. අනේ අර කෙල්ල මගේ ළඟ  හිටියා නම්, එහෙනම් කොයිතරම් කළුවර වුණත් ගාණක් නැහැ.”

එක්වරම කානුවේ ලෑල්ල අතරින් විශාල දිය මීයෙක් මතු වුණා. ඔහු වාසය කළේ කානුවේමයි.

“ගමන් බලපත්‍රයක් තියෙනවද?” මීයා ඇසුවා. “කෝ ගන්න බලන්න”

සොල්දාදුවා නිහඬවම සිටි අතර තවත් තදින් තම තුවක්කුව අල්ලාගත්තා. බෝට්ටුව ඔහු පසු කර වේගයෙන් ඇදී යද්දී මීයා දත් කූරු සපමින්, කෑ ගසමින්, කෝටු  කැබලි වීසි කරමින් එය පසුපස එළවන්නට වුණා.

“ඔය බෝට්ටුව නවත්තන්න, එයා මාර්ග ගාස්තු ගෙව්වේ නැහැ, එයා ගමන්  බලපත්‍රය පෙන්නුවේ නැහැ!” මීයා කෑගැසුවා.

නමුත් දිය පහර එන්න එන්නම වේගවත්ව ගලා ගියා. කානුව වැසුණු ලෑල්ල  පසු වූ විට අඳුර දුරු වී නැවතත් හාත්පස පෙනෙන්නට වුණා. නමුත් ඉන්පසු ඔහුට ඇසුණේ ඕනෑම එඩිතර කෙනෙක් පවා බය ගන්වනසුලු ශබ්දයක්. ඒ, නොබෝ දුරකින් කානුව ඇළ මාර්ගයකට වැටෙන හඬ. මෙය සොල්දාදුවාට දිය ඇල්ලකින්  පහතට වැටීමකට සමාන භයානක දෙයක්.

ඒ වෙද්දී ජලය පහතට වැටෙන තැනට බොහොමත්ම ආසන්නයෙන් සිටි නිසා  ඔහුට බෝට්ටුව නැවැත්වීමට හැකියාවක් තිබුණේ නැහැ. බෝට්ටුව පහතට වැටෙද්දී එය දිය සුළියකට අසු වුණා. අසරණ යකඩ සොල්දාදුවා  හැකි තරම්  එඩිතරව  සිටින්නට  උත්සාහ කළා. ඔහු ඇසිපිය හෙළුවේවත්  නැති  තරම්.  බෝට්ටුව  තුන්  වරක් කැරකී යද්දී එහි  වතුර පිරෙන්නට වුණා. ක්‍රමක්‍රමයෙන්  සොල්දාදුවා  ගිලෙමින් සිටියා. බෝට්ටුව එන්න එන්නම ගැඹුරට යද්දී එහි කඩදාසිය  මෙලෙක්  වී අප්‍රාණික වී ගියා. සොල්දාදුවාගේ හිසට ඉහළින් වතුර යද්දී ඔහුට සිහි වූයේ ඔහුට  යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන අලංකාර නැටුම්කාර තරුණියව.  පැරණි  ගීයකින් කොටසක් ඔහුගේ සවනේ රැව් දුන්නා.

“එඩිතර සටන්කරු ඉතින් ආයුබෝවන්

නුඹව මරණයෙන් බේරාගනු

කිසිවෙකුට දැන් නොහැකියි”

කඩදාසි බෝට්ටුව කැඩී ගිය විට සොල්දාදුවා ගිලෙන්නට වුණා. හදිසියේම, ඒ මොහොතේ විශාල මාළුවෙක් ඔහුව ඩැහැ ගත්තා.

මාළුවාගේ කුස තුළ කොතරම් අඳුරුද! එය කානුවටත් වඩා අන්ධකාර වූ අතර  ඊට වඩා සිරවූ ගතියක් දැනුණා. නමුත් යකඩ සොල්දාදුවා එඩිතරකමින්ම සිටියා.  ඔහු  තුවක්කුව  කර මත තබාගෙන නියම සොල්දාදු ලීලාවෙන්ම වැතිරී සිටියා.

හදිසියේම මාළුවා කිසිම හේතුවක් රහිතව දඟලන්නට වුණා. ඉන්පසු ඌ එක්වරම  නිසල වූ අතර අකුණු පහරක් වැනි එළියක් ඌ තුළින් මතුවුණා. සොල්දාදුවාට  නැවතත් දිවා ආලෝකය පෙනුණා. ඒ එක්කම “මෙන්න යකඩ සොල්දාදුවෙක්!”  කියන කටහඬක් ද ඇසුණා.

කිසිවෙක් විසින් මාළුවා අල්ලා, ඌව වෙ‍ෙළඳපොළ වෙත ගෙනගොස් තිබුණු අතර  ඌව මිලදී ගත් අය ඌව කුස්සියකට ගෙනා විට නි‍ෙවසේ කෝකියා  විසින්  ඌව  දෙපළු කර තිබුණා.

කෝකියා ඔහුව ඇඟිලි දකින් ඔසවා උඩු මහලට රැගෙන ගියා. මාළුවෙක්ගේ කුස තුළ සංචාරය කළ මේ අරුම පුදුම සංචාරකයා දකින්නට හැම දෙනාටම වුවමනා  වුවත්, සොල්දාදුවාට නම් ඒ ගැන ආඩම්බරයක් දැනුණේ නැහැ. ඔවුන් ඔහුව  මේසයක් මත තැබුවා. කිනම් පුදුමයක්ද! මේ ලෝකයේ මේ තරම් විස්මයජනක දේ සිදුවිය හැකිද?  ඔහු සිටියේ කලින් සිටි කාමරයේමයි.  එතන සිටියේ කලින් ළමුන්මයි. මේසය මත තිබුණේ කලින් සෙල්ලම් බඩුමයි. අලංකාර කඩදාසි  මාලිගයත්, හැඩකාර නැටුම්කාර යුවතියත් එලෙසම සිටියා. ඇය තවමත් සිටියේ එක කකුලක් ඔසවාගෙන අනෙත් කකුලේ ඇඟිලිතුඩු මතින් සිටගෙනයි. ඇයද බොහෝ එඩිතරකමකින් එතැන සිට ගෙන ඇති බව දකිද්දී ඔහුට ඈ ගැන දැනුණේ  ගැඹුරු  හැඟීමක්. සොල්දාදුවන් නොහඬන නිසාම මිස නොවේනම් ඔහු ඒ වෙලාවේ යකඩ කඳුළු බිඳු කිහිපයක් හෙළන්නට ඉඩ තිබුණා. ඈ ඔහු දෙස බැලූ අතර ඔහු ද ඈ  දෙස බැලුවා. ඔවුන් අතර එක වචනයක්වත් හුවමාරු වුණේ නැහැ.

හදිසියේම එතැන සිටි එක් කුඩා පිරිමි ළමයෙක් යකඩ සොල්දාදුවාව ඔසවා ගිනි  උඳුනට වීසි කළා. ඔහු එසේ කළේ කිසිම හේතුවක් රහිතවයි. සමහරවිට අර  දුම්කුඩු පෙට්ටියේ සිටි බියකරු මිනිසාගේ බලපෑම ඊට හේතු වන්නට ඇති.

යකඩ සොල්දාදුවා සිටගෙන සිටියේ රත් පැහැති ගිනිදැල් මැදයි. ඔහුට තදබල උණුසුමක් දැනුණත් එය ගිනිදැල්වලින් නැඟුණක්ද, ඔහුට දැනුණු ආදරය නිසා  නැඟුණක් ද ඔහු දැන සිටියේ නැහැ. ඔහුගේ නිල ඇඳුමේ තිබුණු අපූරු පැහැයන්  වියැකී තිබුණු බව ඔහු දුටුවා. ඒ ඔහු ගෙවා ආ දුෂ්කර ගමන නිසාද,  නොඑසේ  නම් ශෝකය නිසාදැයි කිසිවෙක්ට කියන්නට හැකියාවක් තිබුණේ නැහැ.

ඔහු යුවතිය දෙස බලාගත්වනම සිටි අතර ඇය ද ඔහු දෙස නෙත් යොමාගෙනම  සිටියා. ඔහුට දැනුණේ ඔහු දියව යන බවක්. ඔහු තවමත් තුවක්කුව උරයේ තබාගෙන  එඩිතරව, සීරුවෙන් සිටියා.

හදිසියේම කාමරයේ දොර සුළඟට විවර වුණා. ඒ සුළං රැල්ලම නැටුම්කාර යුවතිය  වටා ද එතුණා. ඇය දිව්‍යාංගනාවක් ලෙසින් පියාසර කර  එක එල්ලේම  උඳුන  වෙත පාවී ගොස් සොල්දාදුවා අසලදීම එළියක් විහිදුවා, ගිනිබත් වී අතුරුදන් වුණා.  සොල්දාදුවා ද දියව ගොස් යකඩ ගුළියක් බවට පත්වුණා.

පසුදින නිවසේ වැඩකරුවෙක් උඳුනේ අළු අස්පස් කරද්දී එහි දුටුවේ හදවත්  හැඩයකට ඉතිරි වූ ඒ යකඩ ගුළියක්. හැඩකාර නැටුම්කාරියගේ  නම් ඉතිරිව  තිබුණේ ඇගේ සාළුව සැරසූ සරුවපිත්තල රෝස මල පමණයි.  එයද අඟුරු  වී ගොස් තිබුණා.

හෙල්මලී ගුණතිළක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT