Wednesday, April 23, 2025
Home » දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දුන්නා

දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දුන්නා

- ඇමැති විජිත හේරත්

by sachintha
November 27, 2024 1:01 am 0 comment

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලන පත්වීම් ලැබ තානාපති සේවයේ නිරත සියලු දෙනාට දෙසැම්බර් 01 දින වන විට යළි මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි.

ඥාති සම්බන්ධතා හෝ දේශපාලන හිතවත්කම් මත මින් ඉදිරියට තානාපති සේවය සඳහා කිසිවෙකුත් යොමු නොකරන බවද ඒ මහතා කීය. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

තානාපති සේවයේ නිරතව සිටින සියලු දෙනාට යළි මෙරටට වාර්තා කරන ලෙස මේ වන විට ලිපි නිකුත් කර තිබෙනවා. මෙතෙක් පැවැති වැරදි ක්‍රමවේදය වෙනස් කරලා රටේ ආර්ථිකය සහ රටේ ආනගතය ගොඩනැඟීම ඉලක්ක කර ගත් විදේශ තානාපති සේවයක් ඇති කරනවා. මේ වන විටත් අදාළ වෙනස්කම් කරමින් සිටිනවා. දේශපාලන හිතවත්කම් සහ ඥාති සම්බන්ධතා මත රාජ්‍ය සේවයේ සහ තානාපති සේවයේ පත්වීම් ලබාදීම ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒකට විරුද්ධව තමයි ජනතාව ඡන්දය දීලා තියෙන්නේ. මින් ඉදිරියට දේශපාලනය හා ඥාති සම්බන්ධතා පදනම් කර ගනිමින් පත්වීම් හෝ උසස් වීම් ලබාදීම සිදු වන්නේ නැහැ.සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ සඳහා ආයතනික ව්‍යුහය වෙනස් කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ලබන වසරේ දී සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කරන්නත් ගුණාත්මක සේවාවක් සංචාරකයින්ට ලබාදීම සඳහාත් වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් සැලසුම් කර තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයේ තිබෙන ආයතන ඒකාබද්ධ කරමින් සංචාරක කොමිසමක් පත්කර ඒ ඔස්සේ ව්‍යුහාත්මක වෙනසක් තුළින් ක්ෂේත්‍රය ගොඩගන්න ඉලක්ක කර තිබෙනවා. රනිල්ගේ ප්‍රතිපත්ති දැන් ජනතාව පරාජය කරලා ඉවරයි. අත්දැකීම් තිබෙනවා කිව්ව අය අද මන්ත්‍රීකමක් බෙදා ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. රනිල් දැන් වැල් පාලමෙන් වැටිලා තුවාල වෙලා ඉන්නේ. වාහන ගෙන්වීමේදී සහ රැකියා සඳහා තරුණ තරුණියන් යැවීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අක්‍රමිකතා රැසක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව පරීක්ෂණ කරලා නිසි ක්‍රියාමාර්ග ගන්නවා.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT