Saturday, April 19, 2025
Home » ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් පැමිණි විරෝධතාකරුවන් පොලීසිය අතර ගැටුමෙන් 6ක් මරුට

ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් පැමිණි විරෝධතාකරුවන් පොලීසිය අතර ගැටුමෙන් 6ක් මරුට

- අගනුවර ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

by sachintha
November 27, 2024 1:21 am 0 comment

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එරට දසදෙසින් පැමිණි ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගොස් ඇත්තේ පැරාමිලිටරි බළකායේ සෙබළු සිවුදෙනකු හා පොලිස් නිලධාරීන් දෙදෙනකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගනුවරට ඇතුළුවීම අවහිර කිරීමට යොදා තිබූ කන්ටේනර් බහාලුම් ඉවත් කරමින් විරෝධතාකරුවන් ඉදිරියට පැමිණීම හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ජීව උණ්ඩ සහ කඳුළු ගෑස් භාවිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පාකිස්තානයේ සියලු රජයේ ආයතන පිහිටි ඉස්ලාමාබාද් නුවර රතු කලාපයක් ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබූ බවත්, එම තත්ත්වය මත මහජන ආරක්ෂාව සහ සාමය ස්ථාපිත කිරිම සඳහා ආරක්ෂක අංශ වෙත බලතල හිමිවී ඇති බවත් වාර්තා වේ.

ඊයේ වනවිට ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් අතුරින් හාරදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉම්රාන්ගේ බිරිය බුෂ්රා බීබිගේ නායකත්වයෙන් යුතුව පැවත්වෙන බව කියන විරෝධතා පා ගමන ඉස්ලාමාබාද් නුවර ඩී චෝක් නමැති ප්‍රදේශයට එක්රැස්වී ඇතැයි ද වාර්තා වේ. ඉම්රාන් ඛාන්ගේ උපදෙස් ලැබෙනතුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බව ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායකයකු වන කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්ත මහ ඇමැති අලි අමීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාකරුවන් සාමකාමී නොවන බවත්, ඔවුන් අන්තවාදීන් බවත් පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇතැයි අතර, ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දේශපාලන නායකයන්ට රජය සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව යම්කිසි අදෘෂමාන හස්තයකින් වළක්වා ඇතැයි අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT