අර්චුනා රාමනාදන් දැන් හිට් ලිස්ට් එකේ ඇත්තේය. දසවෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 162ක්ම නවකයෝය. මේ නවකභාවය නිසා ඒ සියල්ලෝ ගැන ප්‍රමාණාත්මක චිත්‍රයක් අප අතරේ නැත. ඉදිකට්ට ලකුණ යටතේ යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීනව තරග වැදුණු අර්චුනා, පළමු දිනයේම හිට් වන විට බොහෝ දෙනා සිතන ලද්දේ හෙතෙම මාලිමාව නියෝජනය කරමින් පැමිණ ඇති බවය. ඔහුගේ තරුණ බව ආදී කාරණා ද එකතු වූ කල, වැරදීමෙන් අයෙක් එසේ සිතූහ. තවත් අයෙක් එසේ සිතීම සඳහා ප්‍රිය කළහ. ‘පළවෙනි දවසේම ඇන ගත්තා’ කියා, හෑලි ලිවීම පිණිස බලාපොරොත්තු පිට, එසේ සිතීම ප්‍රිය කළා විය හැකිය. මන්ත්‍රී අර්චුනා, මාලිමාවේ නොවුණු නිසා හිට් එක මදි විය. යම් හෙයකින් හෙතෙම මාලිමාවේ වූවා නම්, ආණ්ඩුව ද හොට් ෂීට් එකට එන්නේය. එසේ වුවත් දැනටම ඔහු නම ගම දන්නා ගාණට උඩට ඇවිත් තිබේ.
දිස්ත්‍රික්කය, රැකියාව, පෞද්ගලික තොරතුරු ආදිය පිළිබඳව මේ සිටින බහුතර මන්ත්‍රීන් ගැන අප දන්නේ නැත. අසුන් ගත් පළමු පැයේම මන්ත්‍රී අර්චුනා, රටටම ඔහු හඳුන්වා දුන්නේය. මේ ආකාරයට ප්‍රසිද්ධියට පත්වීම ද එක්තරා කලාවකි. සමහරු සිතාමතාම මේ ප්‍රවේශය තෝරාගෙන ජනප්‍රිය මාවතේ යන්නේය.
මේ දිනවල රටේ ලොකුම විනෝදය ඇත්තේ සමාජ මාධ්‍යයේ හිට් වීමටය. යූටියුබ්හි, වීව්ස් සහ සබ්ස්ක්‍රයිබ්ස්ලා ප්‍රමාණය උඩ යනවා කියන්නේ අතට ද ගාණක් ලැබීමය. මෙනයින් බලන සමහරෙක්, වීඩියෝ හිට් කර ගැනීම සඳහා නොකරන දෙයක් නැත. සමහරු සිය භාර්යාව බාගෙට අන්දවා චාරිකා යන්නේය. මෙවැනි චාරිකාහි භාර්යාව බිකිනි ඇඳුමෙන් සැරසී, නාන දර්ශනය අනිවාර්යය. තව සමහරෙක්, අසභ්‍ය වදන් සහිතව වීඩියෝ උඩුගත කරන්නාහ. සමාජයේ ගැරහීමට පාත්‍ර වූවාට හිට් එක වැඩි හෙයින් ඒ මාවත අත නාරින්නේය. වෙනදා ජනප්‍රිය යන සංකල්පය සමඟ වැඩිපුර බැඳී තිබුණේ යහපතය. ඒ කාලයේ අයහපත තුළින් ජනප්‍රිය වී සිටියේ, චණ්ඩින්ය.
මේ සමයේ රටේ ජනප්‍රිය වීම උදෙසා බෙහෙවින් යොදාගන්නේ අයහපතය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්ඇප් මඟින් වටේ ගියේය. ඒ සඳහා මූලික වූ සියලු දෙනා දැන් නීතිය ඉදිරියට රැගෙන ගොස් තිබේ. ඒ සඳහා ගත යුතු පියවර කුමක්ද කියා අධ්‍යාපන අමාත්‍යාංශය කමිටු කිහිපයක් පත් කර විමසා බැලුවේය. ලැබුණු නිර්දේශය වූයේ, මෙය තරග විභාගයක් බැවින් කල්තියා පිටවූ ප්‍රශ්න සඳහා සියලු දෙනාට පොදුවේ ලකුණු ලබාදී, අනෙක් ප්‍රශ්න සඳහා සාමාන්‍ය ක්‍රමය අනුගමනය කරන ලෙසය. අඩුම හානියකින් අර්බුදය ජයගත හැක්කේ එසේ බැවින්, මේ සඳහා පොදුවේ කැමැත්තක් ඇති විය.
විභාගය යළි පැවැත්වීම වනාහි, වියදම් පාර්ශ්වයෙන් එක වැඩේ දෙක වීමය. එය අවුලක් නැති බව තක්සේරු කළ ද දරුවන්ගේ පැත්තෙන් ගණනය කළ නොහැකි පාඩුවක් විභාගය යළි පැවැත්වීම හේතුවෙන් ඇති වන්නේය. සමහර දරුවෝ මේ විභාගයට යවන්නේ බලෙන්ය. ළමා මනසට ඇදිය නොහැකි බරක් එහි ගැබ්ව ඇත්තේය. තුන වසරේ සිට පහ වසර තෙක් අවුරුදු දෙකක කාලයක් මේ දරුවෝ සිය මල් වයස, විභාගයක් වෙනුවෙන් කැප කරන්නාහ. සමනලුන් පසු පස දුවමින්, සරුංගල් යවමින්, අවුරුද්ද සමරමින් ගෙවන කාලය වසර දෙකකට ඒ දරුවෝ වෙත නැති වන්නාහ. එහෙම කළ පසු යළිත් ඒ විභාගය පවත්වන ලෙස යමෙක් අධිකරණයෙන් ඉල්ලා සිටීම, නීතිය පැත්තෙන් ප්‍රශ්න කිරීමට අපට අයිතියක් නැත. අධිකරණය ඒ සඳහා ලබාදෙන තීන්දුව සඳහා මැදිහත්වීමට ද අපට අයිතියක් නැත. එහෙත් මේ රටේ සුවහස් දරු කැල වෙනුවෙන් අප සිදු කරන්නේ කාරුණික අවධාරණයක් පමණය. මේ ආකාරයටම තවත් නඩුවක් උසස් පෙළ උදෙසා ද පවරා තිබේ. සිය අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමේ මානව අයිතිය සඳහා මේ තීරුව සැමදා ගරු කරන්නේය. එසේ වුවද එහි ප්‍රතිඵලය, සමස්ත සමාජය උදෙසා බලපාන ආකාරය අප කිව යුත්තේය. අධිකරණ තීන්දු සඳහා අප හිස නමන අතරේ, ලක්ෂ සංඛ්‍යාත දරු කැලගේ පාර්ශ්වය සලකා ඒ ගැන කතා කළ යුතුමය. උසස් පෙළ සඳහා දරුවෙක් සූදානම් වන්නේ, සාමාන්‍ය පෙළට පසුදා සිටය. එතරමට තරගය වැඩිය.
වසර දෙකක කාලයක් පුරා කන්නේ බොන්නේ ද පොත අතේ තබාගෙනය. මේ ආකාරයට පාඩම් කරන කිසිදු විභාගයක් ලෝකයේ නැත. අනික වියදමය. අතිරේක පන්තිය එකම සරණ බැවින් ඒ සඳහා මවුපියෝ වියහියදම් දරන්නේ ගෙදර අනික් අවශ්‍යතා සියල්ල පසෙක තබාය.
මේ ආකාරයට නඩු පැවරීම ජනප්‍රිය වීම සඳහා මාර්ගයක් ලෙස සමහරෙක් භාවිත කරනවා ඇත. නැතහොත් සුමට ආකාරයට ගලා යන යමක් සඳහා මැද්දෙන් පැනීමේ රුචිකත්වය මේ කාලයේ ඇති වසංගත රෝගයක් හෙයින්, ඒ ප්‍රකාරව ඔය ආකාරයට හැසිරෙනවා ද විය හැකිය.
වර්ෂා බාධකය පමණක් ඇතිව උසස් පෙළ විභාගය මේ දිනවල සාර්ථකව පවත්වන්නේය. කොවිඩ් වසංගතය හේතුවෙන් උසස් පෙළ සාමාන්‍ය කාලසටහන දැන් පමා වී ක්‍රියාත්මක වන්නේ හෙයින්, ඒ සඳහා පිළියමක් ලෙස අධ්‍යයන දින ගණන අඩුවෙන් සමහර විට මේ වසර දෙක ගෙවී යන්නට ඇත. එවන් තාක්ෂණික කාරණයක් මත්තේ හැපී, මේ විභාගය යළි පැවැත්වීම සඳහා යමෙක් වෑයම් දරන්නේ නම්, ඒ වනාහි, උසස් පෙළ සඳහා පෙනී සිටින දෙලක්ෂ හැත්තෑ පන්දහසක දරු කැල සඳහා, භීතියක් ගෙන දෙන්නේය. විෂයයන් හැට දෙකක් සඳහා උසස් පෙළ පැවැත්වෙන බැවින්, ඒ ගැන ද අප අවධානය යොමු කළ යුත්තේය.