ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඊට අනුමැතිය හිමි වූ බවත් කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරී බැඳුම්කර හිමියන්, තත්ත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව එකඟතාවට පැමිණි බව ද ඒ මහතා පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමඟ කළ සාකච්ඡාවලදී යම් එකඟතාවකට පැමිණ තිබුණා ජුනි මාසය වන විට. කෙසේ නමුත් ස්වෛරී බැඳුම්කරවල තිබුණු සංකීර්ණත්වය නිසාම ඒක ප්‍රමාද වෙමින් තිබුණා. නමුත් සැප්තැම්බර් මාසයේදී අපිට හැකියාව ලැබුණා බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවකට පැමිණෙන්න.
ඒ බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයේදී මේ ණයවල තිබෙන සංයුතිය, එහි ව්‍යුහය, ඒ ණය ආපසු ගෙවීමේදී ඒ කාලපරිච්ඡේදය තුළදී ආර්ථිකයට වන බලපෑම විශේෂයෙන් සැලකිල්ලට භාජන කළා. ඒ වගේම අපි දැනටමත් සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවට අනුකූලව ණය තිරසාරත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා සියයට 95ක් 2032 වන විට. ඒ පරාමිතීන්ට අනුකූලව කලින් තිබුණු බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.” යැයි කීය.
මේ අතර මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ 12 වැනිදාට පෙර මෙම නව ක්‍රමවේදයට අනුගත වන ලෙස ස්වෛරීත්ව බැඳුම්කර හිමිකරුවන්ට ආරාධනා කරන බවයි. ඒ සම්බන්ධයෙන් https://projects.sodali.com/srilanka වෙබ් අඩවියේ උපදෙස් දක්වා තිබෙන අතර බැඳුම්කර හිමිකරුවන් ඉක්මනින් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙස උනන්දු කරන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ නව ක්‍රමවේදය වසර දෙකක කාලයක් පුරා යහපත් චේතනාවක් ඇතිව කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව පෙන්වාදෙන එම අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ 17 වැනිදා කණ්ඩායම් දෙකක් සමඟ ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹි බව ද ශ්‍රී ලංකාවේ ණය දෙන කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය මේ ක්‍රියාවලියට දී තිබෙන බව ද කියා සිටී.
නුවන් කොඩිකාර, මහින්ද අලුත්ගෙදර