Home » උසස් පෙළ 27-28-29 නෑ අත්හිටුවූ දවස් 3ට දෙසැ. දින තුනක්

උසස් පෙළ 27-28-29 නෑ අත්හිටුවූ දවස් 3ට දෙසැ. දින තුනක්

by sachintha
November 27, 2024 1:05 am 0 comment

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බස් හා දුම්රිය මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට ඊයේ (26) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි. එම පළාත්වල අ.පො.ස. උසස් පෙළට මුහුණදෙන දරු දැරියන් මේ බාධක මධ්‍යයේ සිය දිවියේ කඩඉම ජය ගැනීමට විභාග මධ්‍යස්ථාන කරා ගමන් ගත් අයුරු අප මාධ්‍යවේදියාගේ කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබිණි. ඡායාරූපය – සොරණාතොට සමූහ – සී. ගමගේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (27), හෙට (28) සහ අනිද්දා (29) දිනවල නොපැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. නැවත විභාගය සෙනසුරාදා (30) ආරම්භ කරන බවත් දැනට ප්‍රසිද්ධ කර ඇති විභාග කාලසටහනට අනුව විභාගය පැවැත්වෙන බවත් ඒ මහතා පැවසුවේය.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා අත්හිටුවීමට ලක් කළ විෂයන් දෙසැම්බර් මස 21, 22, 23 දිනවල පවත්වන බවත් ඊට අදාළ සංශෝධිත කාලසටහන යථා කාලයේදී ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ මහතා දැනුම් දුන්නේය.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති විය හැකි ස්වාභාවික ආපදා තත්ත්වයන් නිසා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මුහුණදීමට සිදු විය හැකි දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවේය.

රටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් අයහපත් තත්ත්වයට පත් කරමින් නිරිතදිග බෙංගාල බොක්ක

ප්‍රදේශයේ වර්ධනය වන පීඩන අවපාතය අද (27) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

මේ තත්ත්වයත් සමඟ උතුර, උතුරු මැද, නැඟෙනහිර, ඌව, වයඹ හා මධ්‍යම පළාත්වල ඉතා තද වැසී ඇති විය හැකි බවට අනාවැකි පළ කර ඇති බවත් මේ සියලු තත්ත්වයන් අවධානයට ගෙන දින තුනක් සඳහා විභාගය අත්හිටුවූ බවත් ජයසුන්දර මහතා පැවසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT