විවිධ හේතූන් නිසා දලු පලදාව ශීඝ්‍ර ලෙස පහත වැටීමකට ලක්වී ඇති මොහොතක අමු තේ දලු කිලෝවකට ලැබෙන මුදල ද ශීඝ්රයෙන් පහත වැටෙමින් තිබෙන බවට පහතරට තේ ගොවීහු මැසිවිලි නඟති. මෙම අමු දලු කිලෝ එකක මිල පහත වැටීම මීට මාස දෙක තුනක ඉහත සිට සිදුවෙමින් පවතින බව එම තේ ගොවීහු පවසති.
මෙම තත්ත්වය මත තේ පොහොරවල මිල පිළිබඳ නැවත නැවතත් සිතා බලා නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීම සඳහා බලධාරීන් කටයුතු කළ යුතු යැයි පවසන තේ ගොවීහු, එසේ නොවුණහොත් තේ වගාව තව තවත් පහතට වැටීම නතර කර ගැනීමට නොහැකි බව පෙන්වා දෙති. ඉකුත් මාසවලදී අමු තේ දලු කිලෝ එකක මිල රුපියල් 220 මට්ටමේ සිට ක්රමයෙන් පහතට වැටී තිබුණ ද, මේ වනවිට එය තව තවත් සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව ඔවුහු සඳහන් කරති.
පොහොර මිල ඉහළ යාම හේතුවෙන් තේ වගාවට පොහොර යෙදීම නතර කර දමන්නට සිදුවී ඇති බවත්, ඒ නිසා තේ වගාවෙන් ලබා ගන්නා දලු අස්වැන්න 50%කින් පමණ අඩු වී ඇති බවත්, තේ වගාව සඳහා යොදවන ශ්‍රම කුලිය ඉහළ යාම තේ වගාව හොඳින් පවත්වාගෙන යාම සඳහා ප්‍රබල ලෙස බලපා ඇති බවත් මෙම තේ ගොවීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ තේ වගාවේ පැවැත්ම සඳහා කඩිනමින් ක්රමෝපාය මාර්ග සැකසීම කළ යුතු බවත්, එසේ නොවුණහොත් තේ වගාව ශ්‍රී ලංකාවෙන් තුරන් වී යතැයි සැකයක් පවතින බවත් ය. කෙසේවුවද පවතින මේ තත්ත්වය හේතුවෙන් තේ වගාව ජීවනෝපාය මාර්ගය කරගත් තේ ගොවීන්ට තම පවුල්වල එදිනෙදා කටයුතු කර ගැනීමට නොහැකිව ගැටලුසහගත තත්ත්වයක් මතුවී තිබේ. එබැවින් තේ වගාවෙන් ජීවත්වන කුඩා තේවතු හිමියන් ද මහත් අසරණ තත්වයකට පත් වී තිබේ.