උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ (25) දහවල් ගල් පස් කඳු කඩා වැටී බදුල්ල, කොළඹ, කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි කඳු මුදුනේ තිබූ විශාල ගල්, පස් කඳු දුම්රිය මාර්ගයට කඩා වැටී තිබේ. මේ නිසා බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට හාලිඇළ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්, පස් කඳු ඉවත් කිරීමට බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග අංශයේ සේවකයන් පිටත් කර යවා ඇති බවත්,මේ නිසාවෙන් බදුල්ල, කොළඹ, කොටුව අතර දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ, කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබෙන දුම්රිය සාමාන්‍ය පරිදි දැනට ධාවනය වෙමින් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.