ප්රජාතන්ත්රවාදී රටක ආණ්ඩු පත් කරගැනීමේ මූලික වගකීම පැවරී ඇත්තේ ජනතාවටය. ජනතාවගේ කැමැත්ත මත තමන්ගේ පාලනය තෝරාගන්නා තත්ත්වයක් තුළ පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලැබුවා පමණක් නොව එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එම සුවිශේෂි බලය කුමන ආකාරයට භාවිත කරන්නේද? ලැබූ ජයග්‍රහණයේ හරය කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය ඔසන්ත එන්. තල්පාවිල සමඟ කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.
මෙවැනි බලයක් ලබා දුන්නේ ජනතාව බව අමතක නොකළ යුතු කරුණකි. ජනතා පරමාධිපත්‍යය ඇත්තේ ජනතාව මත පමණි. මෙම පරමාධිපත්‍යය බලය යම්කිසි ආකාරයකට ආණ්ඩුව වෙත පිරිනමන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරවා ගැනීමේ පරමාර්ථයෙනි. එවැනි තත්ත්වයක් තුළ ලැබුණු විශාල බලයක් හරහා සිය පරමාධිපත්‍යය ජනතාව ආණ්ඩුව වෙත පිරිනැමුණේ තමන්ට සුබසිද්ධියක් අත්පත් වේ යැයි අපේක්ෂාවෙනි.
ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුව විසින් භාවිත කරන්නේ එම ජනතාවගේ අවශ්‍යතා ඉටු කරවාලීමක මිසක වෙනත් අරමුණකින් නොවේ. දේශපාලන චින්තනය තුළ ජෝන් ලොක් සහ රූසෝ වැනි චින්තකයන් අවධාරණය කර ඇත්තේ පරමාධිපත්‍යය විකෘති ආකාරයකින්, නැතහොත් අනිසි ආකාරයකින් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවයි. පාලකයාට ජනතාවගෙන් තමන්ට ලැබුණු බලය ජනතාවගේ අභිවෘද්ධිය තකා මිසක වෙනත් ආකාරයේ කිසිදු අරමුණක් සම්බන්ධයෙන් භාවිත කිරීමේ හැකියාවක් හෝ නොමැති බව ඔවුන් තවදුරටත් අවධාරණය කර ඇත.
රටේ නව පරිවර්තනයක් සඳහා අපේ රටේ ජනතාව උද්යෝගයෙන් මෙවර ඡන්දයේදී ඡන්දය භාවිත කිරීමක් අපට දක්නට ලැබිණි. මේ නිසා ජාතික ජන බලවේගයට අතිවිශාල බලයක් ලබා දීමට ජනතාව තීරණය කළහ. වර්තමාන රජයට ලැබුණු විශාල ජනවරම ජනතා අවශ්‍යතා හා ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කරලීමේ වගකීම මේ නිසාම රජයට පැවරී ඇත.
අසීමාන්තික බලයක අවසන් පලය
රටක ප්රජාතන්ත්රවාදය තුළ පුරවැසියාගේ පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම ආණ්ඩුවක ප්‍රධාන වගකීමකි. දීර්ඝ කාලයක් අපේ රටේ ජනතාව විවිධ ආකාරයේ සමාජ ආර්ථික ගැටලුවලට මුහුණදෙමින් සිටි අතර මෙවර විශාල බලාපොරොත්තු රාශියක් සහිතව වර්තමාන රජයට මේසා විශාල බලයක් ලබා දී තිබේ. මින් පෙර රජයන් කිහිපයකට බහුතර බලයක් හෝ 2/3ක බලයක් ජනතා අවශ්‍යතා හා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා දැඩි විශ්වාසයක් සහිතව ලබා දුන්න ද එම කිසිදු පාලනයකින් ජනතා අපේක්ෂා ඉටු නොවුණි. ජනවරම හෑල්ලුවට ලක් කර, ජනවරමට පිටුපෑමක් බොහෝවිටම දක්නට ලැබිණි. මෙවර මැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගයට විශාල බලයක් ලබා දීමට එයද හේතුවක් විය.
බලය යනු සුවිශේෂී දෙයකි. අපේ රටේ අවස්ථාවන් කිහිපයක මෙවැනි සුවිශේෂි බලයන් නිර්මාණය වී තිබිණි. එය 1977දී 5/6ක බලයකි. 1970 හා 2020දී 2/3ක බහුතර බලයක් විය. නමුත් එවැනි අසීමාන්තික බලයක අවසන් ප්‍රතිඵලය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට යොදවා නැත. එම බලය ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරවා ගැනීමට සහ ඔවුන් ආරක්ෂා වීමට යොදා ගැනුණි. ජනතා අභිලාෂ ඉටු කරලීමට පැවති රජයන් අසමර්ථ වීම සහ ලැබූ බලයන් ජනතාවට හිතකර නොවන අන්දමින් භාවිත කිරීම නිසා මෙවැනි සුවිශේෂි ප්‍රතිඵලයක් ලැබිණි.
මූලික වශයෙන් ජනතා අවශ්‍යතා මොනවාද කියන කාරණය හඳුනාගැනීම ප්‍රධාන වශයෙන් කළ යුතු දෙයකි. ජනතාවට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීම මෙන්ම සෞඛ්‍යසම්පන්න ජීවිතයක්, ආර්ථික පීඩනයෙන් මුදාගැනුණු සශ්‍රීක ජීවිතයක්, සියලු ජන කණ්ඩායම්වලට නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම වර්තමාන රජයට ලබාදුන් ජනවරමේ අපේක්ෂාවයි. මෙවර ඡන්දයේදී ලබා දී ඇති ඡන්ද ප්‍රතිඵලය අනුව එය මොනවට පැහැදිලි වේ.
මීට අමතරව සමාජ සුබසිද්ධිය, සමාජ ආරක්ෂණය, දේශපාලන යහපැවැත්ම, රටේ ආර්ථිකමය ශක්තිමත්භාවය නිර්මාණය වැනි කාරණා මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමක්ද ජනතාව අපේක්ෂා කර ඇත. මේවා ජනතාවගේ පොදු අභිලාෂයන් බවට පත්වී සමස්ත ජනතාවම එකම අරමුණක් ඔස්සේ ක්‍රියාත්මක වූ බවක් මෙවර මැතිවරණයේදී දැක ගත හැකි විය.
ආර්ථික ප්‍රතිපත්තිය
අපේ රටේ 2/3කට ආසන්න බලයක් ලැබීම ඉතාම විරලය. වර්ෂ 1970 දී සමගි පෙරමුණ රජයට 2/3ක බලයක් ලැබුණු අතර වර්ෂ 1977දී 5/6ක දැවැන්ත බලයක් එක්සත් ජාතික පක්ෂයට ලැබිණි. මෙම විශාල බලයන් ලැබූ අවස්ථා ද්විත්වයේදීම ඔවුන්ට ලැබුණු බලය රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැප කළ බවක් දක්නට නොලැබිණි. වර්ෂ 1972දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම, නව ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම සිදු කළද 1977 මැතිවරණයේදී ඔවුන් පරාජයට පත්විය. 1997 ජේ.ආර්. ජයවර්ධන මහතා ප්රමුඛ රජය ධර්මිෂ්ඨ සමාජයක් තේමා කරගනිමින් බලයට පැමිණියත් ඒ අවධියේ දශක තුනක සිවිල් යුද්ධයක්, 1988/1989 කාලයේ කැරළිකාර තත්ත්වයක් නිර්මාණය විය. එමෙන්ම විශාල සමාජ පරතරයක් මේ සමාජය තුළ නිර්මාණය වූ අතර සමාජ ක්රමයේ තිබූ සුරක්ෂිතභාවය බිඳුණු කාලපරිච්ඡේදයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා ද්විත්වයේදීම ලැබූ බලය ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම මඟහැර තිබේ. වර්ෂ 1971දී ඇති වූ කැරැල්ල නිර්මාණය වන්නේද 2/3ක බලයක් සහිත ආණ්ඩුවේ පාලනය තුළමය. 2020 බලයට පත් රජය කෙටි කලකින් අප්‍රසාදයට පත්විය.
අතීතයේ මෙන්ම මෑත කාලයේදී ද ලැබූ බලයෙන් මත්වී අනිසි ආකාරයකට එය භාවිත කිරීමක් දක්නට ලැබිණි. ඒ ඔස්සේ විශාල ජන නැඟිටීම්ද අපට දැකගත හැකිවිය. කලින් බලය ලබාදුන් රජයන්ගේ අදූරදර්ශීභාවය සහ අත්තනෝමතික ක්‍රියා නිසා පසුව එළැඹුණ මැතිවරණවලදී ජනතාව ඊට නිසි ප්‍රතිචාර දැක්විය. මේ නිසා ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම වෙනුවෙන් මෙම බලය නිසි ආකාරයෙන් කළමනාකරණය කරගත යුතුය.
මේ රජයට ලබා දුන්නේ අසීමාන්තික බලයකි. මෙම බලය හසුරවන්නේ කෙසේද කියන කාරණයද තරමක අභියෝගකාරි තත්ත්වයකි. එමෙන්ම ඡන්දය ලබාදුන් ජනතාවගේ විශ්වාසය රඳවා තබා ගැනීමත් විශාල අභියෝගයකි. උතුර සහ නැඟෙනහිර පළාත්වල ජනතාවගේ විශාල ජනමතයක් ආණ්ඩුවට පක්ෂපාතීත්වය ලැබිණි. මෙය එක්තරා ඉතා සුවිශේෂී සංධිස්ථානයකි. සුළු ජනවාර්ගික කණ්ඩායම් විශ්වාසය තබා තිබීම එම විශ්වාසය පලුදු නොකොට දිගින් දිගටම තබා ගැනීමේ සහ ආරක්ෂා කර ගැනීමේ හැකියාව රජයට තිබිය යුතුයි. එය එක්තරා ආකාරයක අභියෝගයකි.
වර්තමානයේ අපේ රටේ ජනවාර්ගික කොටස්, ආගමික කොටස් මුහුණදෙන ගැටලු පිළිබඳව පොදු අවබෝධයක් රජයට තිබිය යුතුයි. ඒ හඳුනාගැනීම තුළ සියලු ජනතාවට එකසේ ගෙන යන පාලනයක් රටේ ස්ථාපනය කිරීමට හැකිවනු ඇත. ඡන්දය සමයේ බොහෝදෙනෙක් ශක්තිමත් විපක්ෂයක් රටට අවශ්‍ය බව ප්‍රකාශ කළද ජාතික ජන බලවේගය ඉල්ලා සිටියේ ශක්තිමත් ආණ්ඩුවකි. ජනතාව මේ අවස්ථාවේ එම බලය ඔවුන් අපේක්ෂා කළ ආකාරයට වඩා ලබාදී ඇත.
ජනතාව අවදියෙන්
දේශපාලනය යනු ගතික ස්වභාවයෙන් යුක්ත දෙයකි. එවැනි තත්ත්වයක් තුළ සියලු ජන කොටස්වල ආකර්ෂණය දිගින් දිගටම තමන් වෙත ලබා ගැනීමට රජය සමත්විය යුතුය. බොහෝදෙනෙක් ප්‍රකාශ කරන්නේ මෙවැනි විශාල බලයක් එක් පක්ෂයකට ලබාදීම සහ ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීම හරහා බලය අවභාවිත වීමට ඉඩ ඇති බවයි. ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ඉඩ තිබුණද ඇත්ත වශයෙන්ම විපක්ෂය යනු පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන මන්ත්‍රී කණ්ඩායම පමණක් නොවේ. විපක්ෂයක් නිර්මාණය වන්නේ ජන සමාජය තුළිනි. එය පාර්ලිමේන්තුවෙන් පිටත, ජනතාව අතර නිර්මාණය වන දෙයකි. ආණ්ඩුව ජනතාව සමඟ සිටින තාක් ඔවුන් ආණ්ඩු හිතවාදීන්ය. ආණ්ඩු පක්ෂය ජනතාවට පිටුපාන දා ඔවුන් විපක්ෂයේය. ආණ්ඩුව සිදු කරන සෑම ක්රියාකලාපයක් සම්බන්ධයෙන්ම ජනතාව නිරන්තරයෙන් අවදියෙන් සිටියි. අවධානයට යොමු විය යුතු වැදගත්ම කාරණාව නම් මෙවර ආණ්ඩු පක්ෂයට ඡන්දය ලබා දුන්නේ එහි ස්ථීර සාමාජිකයන්ම නොවන බවයි. බහුතරය පාටක් ලකුණක් නොමැති දේශපාලන මතයක නොරැඳි පිරිසකි. 2020දී 69 ලක්ෂයක් සඳහා දායක වූයේත් මේ පිරිසය. අද වර්තමාන ආණ්ඩුවේ 2/3ක බලයේ ප්‍රධාන දායකයන් වන්නේ ද මොවුන්ම ය. මේ නිසා ආණ්ඩුව අවධානය යොමු කළ යුතු කාරණය නම් ජනතාව තමන් සමඟ රැඳෙන්නේ ආණ්ඩුව ජනතාව සමඟ සිටිනතාක් පමණි යන්නයි. මේ නිසා 2/3ක බහුතර බලය ජනතාව සමඟ භුක්ති විඳින ආණ්ඩුවක් බවට කටයුතු කිරීම අතිශය වැදගත්ය.
ජනතා පාලනය
බලයට පත් ආණ්ඩුව ජනතා පරමාධිපත්‍ය මුවාවෙන් ජනතාව උවදුරෙහි හෙළීමට කටයුතු කරයි නම් එය ප්රජාතන්ත්රවාදයට සහ යුක්ති යුක්තභාවයට පටහැනිය. දේශපාලන චින්තනයෙහි ජනතා පාලනය යනුවෙන් හඟවන්නේ එසේ ජනතාවගේ නිදහස, ජීවිත, දේපළ හා පැවැත්ම සම්බන්ධයෙන් වග කියනා ආණ්ඩුකරණයකටය. එසේ නොවන පාලනයක් ජනතා පාලනයක් හැටියට හැඳින්විය නොහැකිය. රටේ ආරක්ෂාව මිලටරි බලයෙන් නොව සැබෑ සංහිඳියාවෙන් නිර්මාණය කරලීම ජනතා ආණ්ඩුවක වගකීම හා යුතුකම වේ. ලැබුණු බලය ඒකාකාරව පළමු දිනයේ සිට ඊළඟ මැතිවරණය දක්වා ජනතා සුබසිද්ධිය වෙනුවෙන්ම කැප කෙරේ නම් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත ඉතිහාසයේ මෙතෙක් ඉටු නොවුණ ජනතා බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමකි.
ජනතාව මේ වන විට ඉතා වෙහෙසකර අවධියක් පසු කර තිබෙන අතර රටේ පුරවැසියන් විශාල බලාපොරොත්තු ගොන්නක් සහිතව මෙවර බලය ලබා දී තිබේ. ඔවුන් අපේක්ෂා කළ බලයට එහා ගිය බලයක් ජනතාව ඔවුන්ට ලබා දී ඇත. මේ නිසා ජනතා අපේක්ෂා ඉටු කරලීම සඳහා මෙම බලය මෙහෙය විය යුතුයි. එමෙන්ම ආණ්ඩුවට ලබා දී ඇති බලය වගකීමෙන් සහ වගවීමෙන් හැසිරවීමට ද පවතින රජයට විශාල වගකීමක් ඇත. එය රජය වෙත පැවරෙන එසේ මෙසේ අභියෝගයක් නම් නොවුණු ඇත.