ජාතික ලැයිස්තුව සඳහා පොරබැදීමේ සටන තවම නිමාවට පත්ව නැත්තේය. මේ වනාහි රටේ නව දේශපාලන සංස්කෘතිය හඳුනා නොගැනීමේ විපාකය හෙයින්, එය පලදීම සඳහා පටන් ගත්විට දැන් ලබා ඇති පරාජය නොව ඊට වඩා විනාශයක් සිය දේශපාලන ව්‍යාපාරය සඳහා සිදු වන බව එම පාර්ශ්ව දැනගත යුත්තේය.
සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව සපුරාම ඛේදවාචකයකි. එක් නමක් දැන් මැතිවරණ කොමිසම විසින් අනුමත කර ඇත්තේ හෙයින් අනික් නම සඳහා පිරිසක් පොර අල්ලන්නෝය. සදාචාරසම්පන්න ආකාරය වන්නේ පක්ෂයේ නිලධාරීන් එක්ව මෙම ප්රශ්නය විසඳා ගැනීම මිස, හන්දිය මැද්දේ තබාගෙන කුණු ඇඳුම් සේදීම නොවේ. ශ්‍රී ලනිපය ද දැන් සිලින්ඩරයේ, ඉතිරි මන්ත්‍රී ආසනය සඳහා ඉල්ලීම් කර තිබේ. සජබය තවම සිය ජාතික ලයිස්තුව සකසා ගෙන නැත. ඒ පාර්ශ්වයේ ද මේ සඳහා අඩව්වක් තිබේ. පක්ෂ අභ්‍යන්තරය හීලෑ කර ගැනීමට නොහැකි පාර්ශ්ව රටේ පාලන බලය ලබා ගන්නවා කියන්නේ, සපුරාම ඛේදවාචකයකි.
මීට පෙර ඡන්දයෙන් ජයගත් පක්ෂයක් ඊළඟට මුහුණ දෙන අර්බුදය වන්නේ කැබිනට් මණ්ඩලය පත්කිරීමය. පළමුව ජ්‍යෙෂ්ඨ නාමලේඛනය සඳහා තැන දිය යුතුය ඊලගට කිචන් කැබිනෙට්ටුවය. ඇමැතිවරුන්ගේ ජ්යෙෂ්ඨභාවය හෝ දක්ෂතා ආණ්ඩුවකට අදාළ නැත. ගත වූ වකවානුවේ සෑම ආණ්ඩුවක්ම ධාවනය කරන ලද්දේ කිචන් කැබිෙනට්ටුවක් විසිනි. කැබිනෙට්ටුව ආණ්ඩුවේ සිටියේ වුවද රටේ සියලු තීරණ ගන්නේ කිචන් කැබිනෙට්ටුව හෙයින් ඇමැතිවරු පසෙක සිට කැබිනට් මණ්ඩලයට නම දා ගත්හ. ආණ්ඩුවේ සියලු ප්‍රධාන තීරණ සඳහා ප්රමුඛ වූයේ කිචන් ගැන්සියය. මේවා කාලාන්තරයක් තිස්සේ මේ රටේ ස්ථාපිත වූ තත්ත්වයන්ය.
ඇමැතිකම් බෙදීමේ තවත් තලයක් ඇත. පළමුව අදාළ දිස්ත්‍රික්ක නියෝජනය විය යුතුය. ඊළඟට ජාතිය, ආගම සහ කුලය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ පිරිස් සිටිය යුතුය. ජනාධිපති පහතරටින් නම්, උඩරටට අගමැතිකම ඉල්ලා පොර ඇල්ලූ කාලයක් ද විය. ඔය ආදී සියල්ල සපුරන විට කැබිනට් මණ්ඩලය පනහකට ආසන්න වන්නේය. නියෝජ්‍ය ඇමැතිකම් ලේයර් එක සඳහා කනිෂ්ඨයෝ පත්වෙන බැවින්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අතරමැද්දේ සිටින පිරිස සඳහා වෙනම ස්තරයක් ගොඩනැඟිය යුතුය. මේ තීරුවේ සිටින පිරිස අපේක්ෂා කරන්නේ කැබිනට් ඇමැතිකම් වුවද එහෙමට කැබිනට් මණ්ඩලයේ ඉඩ නැත්තේ හෙයින් ඔවුන් වෙත නියෝජ්‍ය ඇමැති කටු ද දිය නොහැකිය. එය තත්ත්වයට මදිකමකි. රාජ්‍ය ඇමැතිකම් නම් තවත් ඇමැතිවරුන් වර්ගයක් උපත ලබන්නේ මේ සංසිද්ධිය හේතුවෙනි. ඒ සඳහා ද තව විස්සක් තිහක් ගාල් කළ පසුව ඉතිරි හරිය සඳහා නියෝජ්‍ය ඇමැති තනතුරු ලබාදීම සිදු වන්නේය.
මේ විගඩම් වසර තිහක් පමණ බලා සිටි ජනතාව, අද හෝ හෙට හැදෙයි යැයි සිතාගෙන ඡන්දය දුන්නේ වුවද, වැඩේ පුරුද්දට ගොස් ඒ වන්නම දිගටම නැරඹීමට අපට සිදු විය. එක් අතකින් බලා සිටීම අපුලය. අනෙක් අතට ඒ වනාහි කිසිදු ප්‍රයෝජනයක් නැති දෙයකි. වියදම් දරන්නේ ජනතාවය. ඔය වැනි දේශපාලන මල්වෙඩි සංදර්ශන බලා ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බැවින් ඒ සඳහා පිළිතුරු දීමේ අවස්ථාවක් ජනතාව සොයමින් සිටියහ.
සදාසරණ වන්නට, මෙදා ඡන්දයෙන් පිළිතුරු ලැබුණේ ඒ සඳහාය. එසේ තිබියදී ද ජාතික ලැයිස්තුව සඳහා නිමක් නොමැති ආරෝවක මේ පක්ෂ තවම පැටලී තිබේ. ඒ වනාහි ‘ලැබුණු ටික ද’ නැති නාස්ති කර ගන්නා ආකාරයකි. හදා කියාගැනීම සඳහා මේ ළමෝ නොවන්නාහ. අත්දැකීම් ඇතැයි කියනා කාණ්ඩයේ තත්ත්වය මෙයය. ඒ අනුව ජනතා තීරණය වූයේ ඒ ආකාරයේ අත්දැකීම් යළි මේ රටට නුවුවමනා බවය.
රට දැන් සිටින ආර්ථික පරිහානිය අනුව මන්ත්‍රී ආසන ආදිය සඳහා මේ ආකාරයේ පොරකෑම් බලා සිටින කල, වැඩේ බංකොලොත් නොවුණා නම් පුදුමසහගතය.
බංකොලොත් භාවයට පිළියම ලෙස මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය අනුමතව ඇතැයි සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී එහි ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කළේය. මූල්‍ය අරමුදල අප වෙත සපයන්නේ විස්තීර්ණ ණය පහසුකමකි.
කිසියම් රටක ගෙවුම් ශේෂයේ නොකඩවා හිඟයක් ඇති වුවහොත් එම හිඟය පියවා ගැනීම සඳහා සාමාජික රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දෙන ක්‍රම දෙකෙන් එකක් වන්නේ මේ ආකාරයට විස්තීර්ණ ණය පහසුකමක් ලබාදීමය.
ඒ යටතේ වසර හතරක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක මුදලක් පියවරෙන් පියවර අප වෙත ලබා දීම සඳහා මූල්‍ය අරමුදල එකඟ වී තිබුණි.
ලබා දුන් නිර්ණායක සතුටුදායක ආකාරයට ශ්‍රී ලංකාව සපුරා ඇත්තේ හෙයින් තෙවැනි වාරිකය සඳහා අප සුදුසුකම් ලබා අවසන්ය. එසේවූවා කියා රටේ සියලු ප්‍රශ්න හමාර නැත. දැන් මතුව ඇති නව දේශපාලන වාතාවරණය සමඟ මේ රටේ ආර්ථිකය නව ගමනක් සඳහා පියනඟනු ඇත. අතරමැද්දේ දී මූල්‍ය අරමුදලෙන් ගැලවී යෑමේ වුවමනාවක් නොමැති වුවද එකම පිළිසරණ මූල්‍ය අරමුදල බවට පත්කර ගැනීමේ වරද නිවැරදි කර ගැනීම සඳහා යම් කාලයක් ආණ්ඩුව ගනු ඇත.
මේ සියල්ල සඳහා මූලික විය යුත්තේ රටේ නව දේශපාලන සංස්කෘතියය. එය පටු ආකාරයේ, ළඟ බලා ගහන ගේමක් නොව, දිගුකාලීනව රට දෙස බලා ගත යුතු ක්රියාමාර්ගයකි. මේ අවස්ථාවේදී ජාතික ලැයිස්තු සඳහා, පොර අල්ලන පක්ෂ දෙස බලන විට, රටේ අනාගතය සඳහා කතාව මිස ක්‍රියාමාර්ග ඒ පිරිස් අත නොමැති බව කිව හැකිය.
මේ රට ගමන් කරන අලුත් දිශාව දෙස බලා, ඒ පිරිස හැදී එනතෙක්, අප මේ රටේ ඉදිරිය සඳහා වැඩ කළ යුතු බව දිනමිණේ අද දවසේ අවධාරණය වේ.