Home » කෑගල්ලේ හංසනී උසස් පෙළ විභා­ග­යට අතුරු තහ­න­මක් ඉල්ලයි
නිසි අධ්‍ය­යන කාලය සම්පූර්ණ කර නෑ

කෑගල්ලේ හංසනී උසස් පෙළ විභා­ග­යට අතුරු තහ­න­මක් ඉල්ලයි

by Gayan Abeykoon
November 26, 2024 1:22 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

නිසි අධ්‍ය­යන කාලසීමාව සම්පූර්ණ කිරී­මෙන් තොරව මෙවර අ.පො.ස. උසස් පෙළ විභා­ගය පැවැ­ත්වීම වැළැ­ක්වීමේ අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ලබන දෙසැ­ම්බර් මස 12 වැනිදා කැඳ­වී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (25) නියම කළේය.

අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.  එහි දී වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා කියා සිටියේ මෙම විභා­ගය පැවැ­ත්වීම මේ වන­වි­ටත් ආරම්භ කර ඇති බවය.  කෙසේ වුවද මෙම පෙත්සම සංශෝ­ධ­නය කිරී­මට අව­සර ලබා දෙන ලෙස පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ටිරන්ත වල­ලි­යද්ද මහතා එහි දී ඉල්ලා සිටි­යේය.   එම සංශෝ­ධිත පෙත්සම ගොනු කිරී­මෙන් අන­තු­රුව එය සම්බ­න්ධ­යෙන් කරුණු තහ­වුරු කිරීම සඳහා දින­යක් ලබා­දෙන ලෙස ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඉල්ලා සිටියේ ය.  ගොනු කිරී­මට නිය­මිත එම සංශෝ­ධිත පෙත්ස­මට විරෝ­ධතා ඉදි­රි­පත් කිරීමේ අයි­තිය තමන් රඳවා ගන්නා බව එහිදී වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල සංශෝ­ධිත පෙත්ස­මක් ගොනු කිරී­මට අව­සර දුන් අතර කරුණු තහ­වුරු කිරීම සඳහා පෙත්සම දෙසැ­ම්බර් මස 12 වැනි දින කැඳ­වී­මට නියම කළේය.  මෙවර අ.පො.ස. උසස් පෙළ විභා­ගය සඳහා පෙනී සිටින අපේ­ක්ෂි­කා­වක වන කෑගල්ල ප්‍රදේ­ශයේ පදිංචි ඒ.එම්. හංසනී කවිෂා අල­හ­කෝන් විසින් මෙම පෙත්සම ඉදි­රි­පත් කරන ලදි. විභාග කොම­සා­රිස් ජෙන­රා­ල්ව­රයා, අධ්‍යා­පන අමාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ ලේක­ම්ව­රයා සහ නීති­ප­ති­ව­රයා පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති.

රජයේ පාසල්, රජයේ අනු­මත පෞද්ග­ලික පාසල් හා පිරි­වෙන් 2024 වසරේ අධ්‍ය­යන වර්ෂය සඳහා දින 170ක් පැවැ­ත්විය යුතු බවට සඳ­හන් චක්‍ර­ලේ­ඛ­යක් 2023 වසරේ නොවැ­ම්බර් මස 29 වැනිදා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් නිකුත් කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ. එහෙත් එම දින 170ක අධ්‍ය­යන කාලය සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභා­ගය පැවැ­ත්වී­මට වග­උ­ත්ත­ර­ක­රු­වන් තීර­ණය කර ඇති බව පෙත්ස­ම්කා­රිය සඳ­හන් කර ඇත.

ඒ අනුව නොවැ­ම්බර් මස 25 වැනිදා සිට දෙසැ­ම්බර් මස 20 වැනිදා තෙක් එම විභා­ගය පැවැ­ත්වී­මට තීර­ණය කර ඇති බව ද පෙත්ස­මෙහි සඳ­හන් වේ.

එලෙස නිසි අධ්‍ය­යන කාල සීමාව සම්පූර්ණ කිරී­මට පෙර අ.පො.ස. උසස් පෙළ විභා­ගය පැවැ­ත්වීම මගින් විභා­ගය සඳහා පෙනී සිටින අපේ­ක්ෂක අපේ­ක්ෂි­කා­වන්ට දැඩි අසා­ධා­ර­ණ­යක් සිදු­වන බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

මෙවර අපොස උසස් පෙළ විභා­ග­යට පළමු වතා­වට පෙනී සිටින සිසු සිසු­වි­යන් ලක්ෂ තුන­කට ආසන්න පිරි­ස­කට මෙම­ඟින් දැඩි අසා­ධා­ර­ණ­යක් සිදු­වන බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

එබැ­වින් දින 170ක අධ්‍ය­යන කාල­සී­මාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභා­ගය පැවැ­ත්වීම තුළින් සිය මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට තීන්දු­වක් ලබා දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

එසේම නොවැ­ම්බර් මස 25 වැනිදා සිට දෙසැ­ම්බර් මස 20 වැනිදා තෙක් එම විභා­ගය පැවැ­ත්වී­මට ගෙන තිබෙන තීර­ණය බල­ර­හිත කිරීමේ තීන්දු­වක් ලබා­දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.

මෙම පෙත්සම විභාග කර අව­සන් තීන්දු­වක් ප්‍රකා­ශ­යට පත් කරන තෙක් අපොස උසස් පෙළ විභා­ගය පැවැ­ත්වීම අත්හි­ටු­වීමේ අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්ස­ම්කා­රිය විසින් ඉල්ලා ඇත.  නීතිඥ අපේක්ෂා සඳ­මිණී මෙනෙ­විය සමඟ ජනා­ධි­පති නීතිඥ ටිරන්ත වල­ලි­යද්ද මහතා පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT