නිසි අධ්‍යයන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් තොරව මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන දෙසැම්බර් මස 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) නියම කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි. එහි දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම විභාගය පැවැත්වීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවය. කෙසේ වුවද මෙම පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා එහි දී ඉල්ලා සිටියේය. එම සංශෝධිත පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව එය සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය. ගොනු කිරීමට නියමිත එම සංශෝධිත පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය තමන් රඳවා ගන්නා බව එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දුන් අතර කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම දෙසැම්බර් මස 12 වැනි දින කැඳවීමට නියම කළේය. මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. හංසනී කවිෂා අලහකෝන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදි. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් 2024 වසරේ අධ්‍යයන වර්ෂය සඳහා දින 170ක් පැවැත්විය යුතු බවට සඳහන් චක්‍රලේඛයක් 2023 වසරේ නොවැම්බර් මස 29 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ බව පෙත්සමෙහි සඳහන් වේ. එහෙත් එම දින 170ක අධ්‍යයන කාලය සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට වගඋත්තරකරුවන් තීරණය කර ඇති බව පෙත්සම්කාරිය සඳහන් කර ඇත.
ඒ අනුව නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා තෙක් එම විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බව ද පෙත්සමෙහි සඳහන් වේ.
එලෙස නිසි අධ්‍යයන කාල සීමාව සම්පූර්ණ කිරීමට පෙර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම මගින් විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
මෙවර අපොස උසස් පෙළ විභාගයට පළමු වතාවට පෙනී සිටින සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට මෙමඟින් දැඩි අසාධාරණයක් සිදුවන බව පෙත්සමෙහි සඳහන් වේ.
එබැවින් දින 170ක අධ්‍යයන කාලසීමාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.
එසේම නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා තෙක් එම විභාගය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාරිය විසින් ඉල්ලා ඇත. නීතිඥ අපේක්ෂා සඳමිණී මෙනෙවිය සමඟ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.