පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් ඊයේ (25) උදෑසන 6.40ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්රදේශයේදී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් පෞද්ගලික බස් රථයේ පිටුපස බඳ කොටස කැඩී ඇත. මෙම අනතුරින් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩී ගොස් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගීන් සිවුදෙනකු තුවාල ලබා ඊයේ (25) දින වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වටවල පොලීසිය පැවසීය. ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් සහ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථයක් මෙසේ එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්රියාත්මක කිරීමේදී පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටීමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය. අනතුරෙන් තුවාල ලැබූ සිවුදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, පවතින අයහපත් කාලගුණයත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස වටවල පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. අනතුරෙන් පෞද්ගලික බස් රථයට දැඩි අලාභහානි සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වටවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.