වේවැල් ප්‍රවාහනයට බලපත්‍ර ගන්න අමාරුයි
වේවැල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන සමහර වේවැල් වර්ග බදුල්ල, බණ්ඩාරවෙල, අම්පාර, මොනරාගල, රත්නපුර, කෑගල්ල වැනි ප්‍රදේශවල සිට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සිදු වන නිසා නුවර පාර, රදාවඩුන්න ප්‍රදේශයේ පාරම්පරිකව වේවැල් කර්මාන්තයේ නිරත ශ්‍රමිකයෝ විවිධ ගැටලුවලට මුහුණපා සිටිති.
මීට අමතරව මේ වන විට වේවැල් ආශ්‍රිත නිෂ්පාදනවලට අවශ්‍ය විවිධ වේවැල් වර්ග ඇතුළු අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා ඒ හා සමානව වේවැල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි කිරීමේදී පාරිභෝගික ජනතාව එම භාණ්ඩ මිලදී ගැනීමට දැඩි මැළිකමක් දක්වන බව එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. ඔවුන් කියා සිටින්නේ, මේ වන විට වේවැල් නිෂ්පාදනවලට වඩා අඩු මිලට ප්ලාස්ටික්, දැව වැනි විකල්ප අමුද්‍රව්‍ය යොදාගෙන වැඩි කාලයක් පවතින භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ජනතාව වේවැල් භාණ්ඩ මිලදී ගැනීමට දැඩි මැළිකමක් දක්වන බවයි. මේ වන විට වේවැල් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳව ජනතාව අතර ඇති ආකල්ප නිසාත්, වේවැල් ආශ්‍රිත භාණ්ඩ නිපදවීමේදී ඇති විවිධ ගැටලු හේතුවෙනුත් තරුණ පරපුර ද වේවැල් කර්මාන්තයෙන් ඈත් වෙමින් සිටිති. එමෙන්ම වේවැල් කර්මාන්තය නඟාසිටුවීමට රජය මැදිහත්ව සහන පොලී පදනම මත ණය සහ ආධාර ලබා නොදීම හේතුවෙන් ද වේවැල් කර්මාන්තකරුවන් විවිධ පීඩාවලට ලක්ව සිටියි.
නුවර පාර, රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. නිමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.
“මම වසර 40ක පමණ කාලයක සිට වේවැල් ආශ්‍රිතව මල් පෝච්චි, කූඩ, වට්ටි, පන් මලු, වේවැල් පුටු, ලාම්පු ආවරණ ඇතුළු විවිධ භාණ්ඩ නිපදවා මෙම ස්ථානයේ විකිණීමට කටයුතු කරනවා. මේ වන විට වේවැල් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන සමහර වේවැල් වර්ග ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේදී අපට විවිධ ගැටලුවලට මුහුණපාන්න සිදු වෙනවා. අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා ඒ හා සමානව එම භාණ්ඩවල මිලත් ඉහළ යනවා. එතකොට පාරිභෝගිකයන් අපෙන් ඈත් වෙනවා. කර්මාන්තය නඟාසිටු වීමට රජය මැදිහත්ව කර්මාන්තකරුවන්ට සහන පොලී පදනම මත ණය සහ ආධාර ලබා දෙන්නේ නම් මෙම කර්මාන්ත කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකි වනවා.”