Home » කොන්ත්‍රාත්කරුවකු පැහැරගෙන කන-කර කොල්ලකෑ පිරිස කොටු

කොන්ත්‍රාත්කරුවකු පැහැරගෙන කන-කර කොල්ලකෑ පිරිස කොටු

එකම පවුලේ තිදෙනකුත් ඒ අතර

by thanushika
November 25, 2024 1:00 am 0 comment

එකම පවුලේ තිදෙනකුත් ඒ අතර

කොන්ත්‍රාත්කරුවකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4කට ආසන්න දේපළ කොල්ලකෑ එකම පවුලේ තිදෙනකු සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

ඒ අතර කාන්තාවන්ද වන බව පොලීසිය කියයි. පැහැරගැනීමට යොදාගත් වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත්කරු නිවෙසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ගැනීමට බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ නිවෙසකට සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ වෑන් රියකින් පැමිණ තිබූ සැකකරුවන් 5දෙනකු කොන්ත්‍රාත්කරු මීට පෙර ඉදි කරන ලද නිවෙසකට රැගෙන ගොස් ඔහුට පහර දී පැලඳ සිටි පවුම් 2කට ආසන්න රන්මාලයක්, රු. 51,000ක මුදලක් හා අත් ඔරලෝසුවක් කොල්ලකා ඇති බව ඔහුගේ බිරිය පොලීසියට කළ පැමිණිල්ලක සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාණදුර වඳුරාමුල්ලේ හා මාලමුල්ලේ පදිංචි වයස අවුරුදු 30-50 අතර පසුවන්නෝය. සැකකරුවන් හා සැකකාරියක් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් ජයලාල් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT