Home » පළමු අනියම් පෙම්වතා ඝාතනය කළකත – අලුත් පෙම්වතා රිමාන්ඩ්
කොස්ලන්දේදී තරුණයකු ගෙල කපා මරා දැමීම

පළමු අනියම් පෙම්වතා ඝාතනය කළකත – අලුත් පෙම්වතා රිමාන්ඩ්

වළදැමූ හිස-සිරුර-ආයුද වීදි සුනඛයකුගේ උදවුවෙන් සොයාගැනේ

by thanushika
November 25, 2024 1:00 am 0 comment

සිරුර සොයා ගැනී­මට සහාය වූ සුන­ඛයා තණ­ම­ල්විල ස්ථානා­ධි­පති සමඟ

තණමල්විල හම්බෙගමුවේ සිට කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවක් තුළට රැගෙන ගොස් 35 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හා සැකකාරිය දෙසැම්බර් මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා පෙරේදා (23) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක හා ඇගේ නවක පෙම්වතා වූ බලහරුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට ලක් වූයේ අත්අඩංගුවට පත් කාන්තාවගේ පැරණි අනියම් පෙම්වතා වූ තණමල්විල අරඹෙකෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

තණමල්විල පොලිස් බලප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර කලක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර එම කාන්තාව බලහරුව ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු සමඟ ද අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි. පසුව හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාව හා නවක පෙම්වතා එක්ව මෙම කාන්තාවගේ පැරණි පෙම්වතා වූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ කැබ් රථය කාත්නාවගේ නිවෙසේ රඳවා ගැනීමෙන් අනතුරුව ඔහුව රවටා ව්‍යාපාරික කටයුත්තකට බව පවසා යතුරුපැදියකින් හම්බෙගමුව ප්‍රදේශයේ සිට කොස්ලන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර තිබේ.

හම්බෙගමුව අරඹෙකෙම පදිංචි රණසිංහ ආරච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් පසුගියදා (18) තණමල්විල පොලීසියට පැමිණ සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නැති බවට පැමිණිල්ලක් සිදු කර තිබේ. එහිදී සිය පුත්‍රයා හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක සමඟ අනියම් සබන්ධතාවක් පවත්වාගෙන ගිය බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩාමක් විසින් විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ කාන්තාවගේ නිවෙසට ගොස් මේ පිළිබඳ ප්‍රශ්න කර තිබේ. එහිදී එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ කැබ් රථය තම නිවෙසේ තවතා ගිය බවත් යන ස්ථානයක් පිළිබඳ කිසිවක් නොකී බවත්ය. ඒ අනුව තණමල්විල පොලීසිය වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වුයේ මෙම කාන්තාවට බලහරුව ප්‍රදේශයේ තවත් පෙම්වතකු සිටින බවත් ඝාතනයට ලක් වූ පුද්ගලයා එම පුරුෂයා සමඟ යතුරුපැදියකින් කොස්ලන්ද දෙසට යනු දුටු බවත්ය. ඒ අනුව යළිත් එම කාන්තාව පොලීසියට ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් පෙම්වතාගේ තොරතුරු ලබා දී තිබේ. එම කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. එහිදී එම සැකකරු පොලීසියට පවසා ඇත්තේ මෙම කාන්තාව සමඟ තමන්ගේ අනියම් සම්බන්ධතාවක් පවතින බවත් ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ බවත් එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමඟ සුහදත්වයක් ගොඩනඟාගෙන කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා හේනක් සකස් කිරීමට බව පවසා රැගෙන ගොස් කැලයේදී කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවත්ය. ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කඳින් වෙන් කර වෙනම ස්ථානයක වළ දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇළක් ආසන්නයේ දමා ගිය බවත් තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සඟවා ආ බවත් පවසා තිබේ.

ඒ අනුව සැකකරුගේ මඟපෙන්වීම මත ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට පොලීසිය කොස්ලන්ද ප්‍රදේශයට ගොස් තිබේ. පොලිස් නිලධාරීන් කොස්ලන්ද ප්‍රදේශයෙන් කිලෝමීටර 08ක පමණ දුරක් කැලෑව තුළට ගොස් තිබේ. මේ සඳහා පොලීසිය පා ගමනින් ගමන් කිරීමේදී අසල සිටි සුනඛයකු ද පසුපසින් පැමිණ තිබේ. එහිදී සැකකරුට ද අදාළ ස්ථානය සොයා ගැනීමට අපහසු වූ නමුත් පොලිස් නිලධාරීන් හා පසුපසින් පැමිණි සුනඛයා විසින් ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ සිරුර හා වළ දමා තිබූ ඔළුව කොටස මෙන්ම කැලයේ සඟවා තිබූ කැත්ත හා උදැල්ල ද සොයා ගැනීමට උපකාර වී තිබේ.

ඒ අනුව සැකකාර පෙම්වතිය හා බලහරුව පදිංචි සැකකරු සමඟ යතුරුපැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් මූලික විමර්ශන තණමල්විල පොලිසිය මඟින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා සැකකාරිය කොස්ලන්ද පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි. එහිදී කොස්ලන්ද පොලීසිය මඟින් සැකකරු හා සැකකාරිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර, සොරණාතොට සමූහ සී. ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT