Home » ඉම්රාන්ට නිදහස ඉල්ලා ආධාරකරුවෝ දසදෙසින් ඉස්ලාමාබාද් නුවරට

ඉම්රාන්ට නිදහස ඉල්ලා ආධාරකරුවෝ දසදෙසින් ඉස්ලාමාබාද් නුවරට

අගනුවර වසා දැමීමට - අන්තර්ජාලය අත්හිටුවීමට පියවර

by manjula
November 25, 2024 12:59 am 0 comment

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විපක්ෂයේ දහස් සංඛ්‍යාත ජනතාව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අගනුවර වසා දැමීමටත්, අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊසාන දිග පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ විවිධ දිස්ත්‍රික්කවල සිට දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අගනුවර දක්වා පා ගමනක් ආරම්භ කිරීමෙන් පසු එරට රජය මේ පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිට අගනුවර දක්වා ආරම්භ වූ විරෝධතා පා ගමනට හිටපු ජනාධිපති අරීෆ් අලෙවි ද එක්වී සිටින බවත්, ඉම්රාන්ගේ බිරිය බුෂ්රා බීබී ද එම විරෝධතා පා ගමනට එක්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පා ගමන ආරම්භ වීමෙන් පසු අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර, ඉස්ලාමාබාද් අගනුවර දක්වා දිවෙන සියලුම ප්‍රධාන මාර්ග අවහිර කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. පා ගමන ආරම්භ වීමෙන් පසු ඊට සහභාගි වූ ඉම්රාන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ඉස්ලාමාබාද් නුවරදී ඉම්රාන්ගේ පක්ෂයේ රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි එරට ජාතික ත්‍රස්ත මර්දන අධිකාරිය අනතුරු ඇඟවූ බවට එක්ස්ප්‍රස් පුවත් රූපවාහිනි වාර්තාවකින් ප්‍රචාරය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 19 සහ 20 දෙදින අතරතුර රාත්‍රියක ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානයට ඇතුළු වු සටන්කාමී කණ්ඩායමක් එම ප්‍රහාරය සිදු කිරීමට නියමිත බව සඳහන් කරමින් ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ රැලියට අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ තත්ත්වය යටතේ අගනුවර ආරක්ෂාව තර කිරීමට එරට පැරාමිලිටරි රේන්ජර්ස් සහ විශේෂ බළකා කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද, නගරයේ සියලු ශිෂ්‍ය නේවාසිකාගාර ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. කන්ටේනර් බහාලුම් භාවිත කරමින් නගරයට ඇතුළුවන සියලු ප්‍රධාන මාර්ග අවහිර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT