Home » ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

by manjula
November 25, 2024 12:48 am 0 comment

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති කලා නිර්මාණ වෙන්දේසියකදී බිත්තියකට අලවා තිබූ කෙසෙල් කලා කෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 6.24ක විශාල මුදලකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙන්දේසි භූමියේ බිත්තියක ටේප් පටියක ආධාරයෙන් අලවා තිබූ එම ස්වාභාවික කෙසෙල් ගෙඩිය ලෝක ප්‍රකට ඉතාලි ජාතික දෘශ‍ය කලා නිර්මාණ ශිල්පි මොරීෂියෝ කැටෙලන්ගේ නිර්මාණයක් බවත්, ඩොලර් ලක්ෂ 8කට මූලික ලංසුව තැබූ එම කලා කෘතිය ඊට වඩා වැඩි මිලකට ලංසු තැබීම දක්වා ඇදී යෑම විස්මිත සිදුවීමක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ‘කමීඩියන්’ සංකල්පීය කලා කෘති තේමාව යටතේ වෙන්දේසියට තැබූ එම කලා නිර්මාණය මිල දී ගෙන ඇත්තේ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධව නම් දරා සිටි චීන ජාතිකයකු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම නිර්මාණය රස විඳීමට නම් කෙසෙල් ගෙඩිය නරක් නොවීමට පෙර අනුභව කළ යුතු බවට වෙන්දේසියෙන් පසු ඔහු සිනාසෙමින් වාර්තාකරුවන්ට ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

‘කමීඩියන්’ දෘශ‍ය කලා සංකල්පය යටතේ මෙවැනි නිර්මාණ සිදු කරන මොරීෂියෝ කැටෙලන්ගේ ටේප් පටියෙන් අලවන ලද කෙසෙල් ගෙඩියේ නිර්මාණය මීට පෙර 2019 වසරේදී පළමුවරට එළිදැක්වූ සංකල්පීය නිර්මාණයක් වන අතර, එවකට එය නිර්මාණකරුවන් අතර පවා දැඩි විවේචනයට ලක්වූ නිර්මාණයක් බවට පත්වූ බව ද වාර්තා වේ. මෙවර එම සංකල්පය යටතේම අලුත් කෙසෙල් ගෙඩියක් භාවිත කරමින් නිව්යෝර්ක් නුවර වෙන්දේසියට තැබූ එම නිර්මාණය සඳහා අවශ්‍ය ස්වාභාවික කෙසෙල් ගෙඩිය ඔහු විසින් ඩොලර් ශත 35කට මිල දී ගෙන ඇත්තේ වෙන්දේසි ශාලාව අසල වෙළෙඳසලකින් වන බව ද වාර්තා වේ. මියාමි නුවර 2019 වසරේදී ඔහු පළමුවරට එම නිර්මාණය එළිදැක්වීමේදී කෙසෙල් ගෙඩිය මිල දී ගෙන ඇත්තේ වෙන්දේසි ශාලාව අසල පිහිටි සිල්ලර වෙළෙඳසලකින් බවත්, අවසානයේදී එම නිර්මාණය ඩොලර් එක්ලක්ෂ විසිදහසකට අලෙවි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT